ජනාධිපතිවරයා විසින් හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන අයවැය මගින් ඇතැම් ක්ෂේත්‍රවලට බදු සහන හිමිවනු ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

කලින් ප්‍රකාශ කළ පරිදි රුපියල් බිලියන දෙදහසක ප්‍රාග්ධන මුදලක් මෙවර අයවැයෙන් සංවර්ධන කටයුතු සඳහා වෙන් කෙරෙනු ඇති බවද අමාත්‍යවරයා කියා සිටියා.
"අයවැය කියලා කියන්නේ ඉදිරි වසරට අපි ඉදිරිපත් කරන මුදල් ලියවිල්ල. නමුත් ඒක වසරකට පමණක් ඉලක්ක කරගන්න එකක් නෙවෙයි. දැන් පසුගිය වසර දෙක තුළදී අපිට තිබුණු අභියෝගය තමයි රටේ ආර්ථිකය ස්ථාවරත්වයට ගේන එක. ඊළඟ වසර තුනේ අපේ බලාපොරොත්තුව, අපේක්ෂාව බවට පත්වෙන්නේ ආර්ථිකයේ ඉහළ සංවර්ධනයක්, වර්ධනයක් අත්පත් කරගන්න එක. ඒක යම් පරිවර්තනීය තත්ත්වයක් සමහර ක්ෂේත්‍රවල සිදු කරමින් තමයි කරන්න වෙන්නේ. ඒකට අදාළ කරන යෝජනා ඉදිරිපත් වේවි ජනාධිපතිතුමා දැන් දැන් කියලා තියෙන හැටියට සමහර ක්ෂේත්‍රවල බදු සහන ප්‍රමාණයක් ලැබෙනවා. නමුත් ඒ කියන්නේ ආර්ථිකය ස්ථාවරයි කියූ පමණින්ම සියලු බදු අතහරින්න අපිට හැකියාවක් නැහැ. සමහර බදු වෙනස් කිරීමේදී ඉතාම සැලකිලිමත් වෙන්න ඕනා ලෝකයේ පවතින ආර්ථික තත්ත්වයත්. ලෝකයේ ආර්ථිකයේ විචලනයන් ගැන සැලකිලිමත් වෙනවා. ඒ අනුව යම් සහනයක් ලැබෙයි සමහර බදුවල. අපි කලින් කිව්වා වගේම රුපියල් බිලියන 2000ක (ට්‍රිලියන 2ක) සංවර්ධන ප්‍රතිපාදන නැත්නම් ප්‍රාග්ධන මුදලක් මේ අයවැයෙන් වෙන් කරනවා."