මීගමුව බන්ධනාගාරයේ රැඳවූවන් දෙපිරිසක් අතර අද පස්වරුවේ ඇතිවූ ගැටුමෙන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.
ඇති වූ ගැටුමෙන් තුවාල ලැබූ රැඳවියන් 30 දෙනෙකුට වැඩි පිරිසක් ප්රතිකාර සදහා මීගමුව රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලීසිය පැවසුවේ.
ඇතිවූ ගැටුමෙන් පසු එම බන්ධනාගාරයට විශේෂ ආරක්ෂාවක් ලබා දී තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකායද එම ස්ථානයට කැඳවා ඇති බවයි එහි සිටින නෙත් නිව්ස් වාර්තාකරු පැවසුවේ.
මීගමුව බන්ධනාගාරයේ රදවා සිටින රැදවියන්ගේ ඥාතීන් සහ ප්රදේශවාසීන් විශාල පිරිසක්ද සිද්ධිය සැල වීමෙන් පසු එම ස්ථානයට පැමිණීමත් සමග එහි උණුසුම් තත්වයක් ඇති වූණා.
මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් පිරිසක් වහලයක් මත නැග විරෝධතාවයක නිරත වුණේ ඒ අතර තුරයි.
මේ අතර එම ස්ථානයේ රැදී සිටින නෙත් නිව්ස් මීගමුව වාර්තාකරු බෙනට් ෆර්ඩ්නැන්ඩස් පැවසුවේ බන්ධනාගාරය තුලින් පස්වරු 6.30 වනවිටත් ඝෝෂාකාරී ශබ්ද ඇසුනු බවයි.
මෙම ගැටුමට හේතුව කුමක්ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.
ඇතිවූ තත්වය සම්බන්ධයෙන් සොයා බැලීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ද මීගමුව බන්ධනාගාරය වෙත පැමිණියා.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සහ උසස් නිලධාරින් සමග පැවති සාකච්ඡාවකදී අවධානය යොමු වී ඇත්තේ ගැටුමට සම්බන්ධ රැඳවියන් පිරිසක් තාවකාලිකව වෙනත් බන්ධනාගාර වෙත යොමු කිරීමටයි.


