මීගොඩ පැවති දන්සලක සිදුවූ අනතුරෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් සිව් දෙනෙකුගේ මෘත දේහයන් මේ වනවිට ඔවුන්ගේ නිවෙස්වල තැන්පත් කර තිබෙනවා.
ඒ අනුව අඹුසැමි යුවළකගේ මෘත දේහයන් අවිස්සාවේල්ල තල්දුව ඇපලපිටිය පිහිටි ඔවුන්ගේ නිවසේ තැන්පත් කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
ශ්රී ලංකා යුද හමුදාවේ විසි තුන්වන ගැමුණු හේවා බලඇණියේ කුරුවිට යුද හමුදා කඳවුරේ සේවය කළ කෝප්රල් ආර් බී ලසික නානායක්කාර සහ ඔහුගේ බිරිඳ වන නවීසා නිලක්ෂි පෙරේරා යන දෙදෙනාගේ මෘත දේහයන් එලෙස එම නිවසේ තැන්පත් කර තිබෙනවා.
ඔවුන්ගේ අවසන් කටයුතු හෙට පස්වරු 4 ට ඇපලපිටිය පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.
එම අනතුරෙන් මියගිය රණවිරුවාගේ බිරිඳගේ මව සහ ඥාති දියණියගේ මෘත දේහයන් පිළියන්දල වෑවල ප්රදේශයේ තැන්පත් කර තිබෙනවා.
ඔවුන්ගේ අවසන් කටයුතු ලබන 4 වනදා පිළියන්දල වෑවල ප්රදේශයේදී සිදු කිරීමට නියමිතයි.
මීගොඩ සිදුවූ අදාළ රිය අනතුරෙන් පුද්ගලයන් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයන් 7 දෙනෙකු තුවාල ලැබුවා.
ඒ අනුව තුවාල ලැබූ පුද්ගලයන් පස් දෙනෙකු තවදුරටත් හෝමාගම මූලික රෝහලේ ප්රතිකාර ලබන බවයි පොලීසිය පැවසුවේ.
අනතුර සිදුකළ කැබ් රථ රියදුරා මේ වනවිට පසුවන්නේ රක්ෂිත බන්ධනාගාරගතවයි.
එම අනතුර සිදුවන අවස්ථාවේ කැබ් රථයේ සිටි තවත් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් විමර්ශන තවදුරටත් ක්රියාත්මකයි.




