හයිලෙවල් මාර්ගයේ මීගොඩ හන්දිය ආසන්නයේ සිදුවූ රිය අතුරකින් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

ඒ අතර කාන්තාවන් තිදෙනෙකු ද සිටින බව පොලීසිය පැවසුවේ.

දන්සැලක පෝළිමක රැදී සිටියදී ඔවුන් අනතුරට පත් කර තිබුණේ අවිස්සාවේල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ කැබ් රථයකින්.

එහිදී පුද්ගලයන් 13 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේත් පුද්ගලයින් හය දෙනෙකු ජිවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

එලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇති පිරිමි පුද්ගලයන් තිදෙනා හංවැල්ල සහ අවිස්සාවේල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.

කාන්තාවන් තිදෙනා පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලීසිය පැවසුවේ.

තුවාල ලැබූ පුද්ගලයන් 7 දෙනෙකු හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

අනතුර සිදුවීමත් සමග රියදුරා කැබ් රථය නොනවත්වා ධාවනය කර තිබෙනවා.

වහා ක්‍රියාත්මක වු පොලිස් නිලධාරීන් ගොඩගම හංදිය ප්‍රදේශයේදී එම රියදුරා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

ඔහු පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකාර කැබ් රථ  රියදුරා බීමත්ව සිටි බවටද තහවුරු වූ බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.