යුද සමයේදී මානුෂීය ආධාර සේවාවන්ට එල්ල කෙරුණු ප්‍රහාර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ප්‍රසිද්ධියේ සමාව අයැද සිටිය යුතු බවට අයැදීමක් කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය නිර්දේශයක් කර තිබෙනවා.

ශ්‍රී ලංකා රජය සහ එල්.ටී.ටී.ඊ ය අතර පැවති සන්නද්ධ ගැටුම් සමයේදී සහ ඉන් පසුවත්, මානුෂීය ආධාර සහ වෛද්‍ය සේවාවන්ට එල්ල වූ ප්‍රහාර පිළිබඳ විශේෂ වාර්තාවක් නිකුත් කරමිනුයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය මෙම නිර්දේශය කර තිබෙන්නේ.

”‘මම බොහෝ වාරයක් මිය ගියෙමි‘: වසර 20කට පසු ශ්‍රී ලංකාවේ මානුෂීය ආධාර වෙත එල්ල වූ ප්‍රහාර” යනුවෙන් මෙම වාර්තාව නම්කර තිබෙනවා.

එමගින් සඳහන් කර ඇත්තේ රාජ්‍ය ආරක්ෂක අංශ ප්‍රශ්න ගත ප්‍රහාරවලට සම්බන්ධ බවට ශ්‍රී ලංකා රජය පිළිගත යුතු බවයි.

ඒ අනුවයි එම ප්‍රහාර සම්බන්ධයෙන් රජය විසින් ප්‍රසිද්ධ සමාව අයැදීමක් සිදු කළ යුතු බවට නිර්දේශ කර තිබෙන්නේ.

මීට අමතරව වින්දිතයින්ට සහ දිවි ගලවා ගත් අයට සත්‍යය, යුක්තිය සහ වන්දි ලබා දීමට පියවර ගත යුතු බවද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය නිකුත් කළ වාර්තාව මගින් අවධාරණය කර තිබෙනවා.

මානුෂීය ආධාර සැපයීමට පැවති බාධා 2006 වසරේ සිට තීව්‍ර වූ බවත්, 2009 වසරේ පැවති අවසන් යුද මෙහෙයුමේදී එය උපරිම මට්ටමකට පැමිණි බවත් වාර්තාවේ සඳහන්.

එම කාලයේදී මනුෂීය ආධාර සේවකයින් ඝාතනයට ලක් වූ බවද ආහාර, ඉන්ධන, ඖෂධ සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම දැඩි ලෙස සීමා කෙරුණු බවද වාර්තාවේ සඳහන් වනවා.

2006 සහ 2007 වසරවලදී සෑම මසකම පාහේ අවම වශයෙන් එක් මානුෂීය ආධාර සේවකයෙකු හෝ ඝාතනයට ලක්වීම හෝ බලහත්කාරයෙන් අතුරුදන් කිරීම සිදුව ඇති බවටයි වාර්තාවෙන් කරුණු දක්වා ඇත්තේ.

ඊට අමතරව එල්.ටී.ටී.ඊ සංවිධානයද සිය පාලන ප්‍රදේශවලින් පිටවීමට ඉඩ නොදී සහ වෙඩි ප්‍රහාරවලට නිරාවරණය කරමින් ආධාර සේවකයින්ගේ ජීවිත අනතුරේ හෙලූ බව ද මෙම වාර්තාව සඳහන් කර තිබෙනවා.

දශකයකට වැඩි කාලයක් පුරා කළ විමර්ශන සහ සාකච්ඡා ඇසුරින් මෙම වාර්තාව සකස් කළ බවයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය පවසන්නේ.

එහිදී යුක්තිය ඉටු නොවූ බව කියන ප්‍රධාන සිදුවීම් හතරක් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා.

එම පළමු සිදුවීම වන්නේ 2006 අගෝස්තු මාසයේදී මුතූර්හිදී ‘ඇක්ෂන් කොන්ට්‍රේ ලා ෆෙම්‘ නම් ප්‍රංශ රාජ්‍ය නොවන සංවිධානයේ දේශීය කාර්ය මණ්ඩල සාමාජිකයින් 17 දෙනෙකු ඝාතනය කිරීමයි.

2006 ජනවාරි 29 සහ 30 යන දිනවලදී දෙමළ පුනරුත්ථාපන සංවිධානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් හත් දෙනෙකු අතුරුදන් වීම දෙවන සිදුවීම වනවා.

එක්සත් ජාතීන්ගේ ආධාර රථ පෙළකට බාධා කර ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කිරීම තුන්වන සිදුවීමයි.

2009 වසරේ මුල් භාගයේදී පුදුකුඩිඉරිප්පු රෝහලට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කිරීම විශේෂ අවධානයට ලක්ව ඇති හතරවන සිදුවීම වනවා.

මුතූර් ඝාතනවලට දශක දෙකක් සහ යුද්ධය අවසන් වී වසර 17කට වැඩි කාලයක් ගත වී ඇතත්, මෙම සිදුවීම් සම්බන්ධයෙන් කිසිවෙකුටත් අපරාධමය වශයෙන් දඬුවම් ලබා දී නොමැති බවයි වාර්තාවේ දැක්වෙන්නේ.

වගවීම ප්‍රමාද වීමට හේතු ලෙස නිලධාරීන් වගකීම් පැහැර හැරීම, විමර්ශන අතරමග නතර වීම, සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමට අපොහොසත් වීම සහ අපරාධ පරීක්ෂණ වෙනුවට විමර්ශන කොමිෂන් සභා පත් කිරීම වැනි කරුණු වාර්තාව මගින් පෙන්වා දී තිබෙනවා.

වත්මන් රජය වගවීම ඉදිරියට ගෙන යාමට කැපවන බව ප්‍රකාශ කර තිබීම සහ 2026 මැයි මාසයේදී විමර්ශන කොමිෂන් සභා වාර්තා හයක් ප්‍රකාශයට පත් කිරීම පිළිගන්නා නමුත්, මෙම සිදුවීම්වලට අදාළ විමර්ශන හෝ නඩු පැවරීම්වල ප්‍රගතියක් පිළිබඳ ප්‍රසිද්ධ සාක්ෂි තවමත් ප්‍රමාද වෙමින් පවතින බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.

එබැවින්, අණදෙන මට්ටමේ නිලධාරීන් ද ඇතුළුව මෙම බරපතල උල්ලංඝනයන්ට වගකිව යුතු බවට සැක කෙරෙන පුද්ගලයින්ට එරෙහිව කඩිනම්, ස්වාධීන සහ අපක්ෂපාතී විමර්ශන සිදු කර නඩු පැවරිය යුතු බව එක්සත් ජාතීන්ගේ මෙම වාර්තාව මගින් අවධාරණය කරනවා.

තවද, ජාත්‍යන්තර නීතිය යටතේ අපරාධ සිදු කළ බවට චෝදනා ලැබ සිටින පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශන සහ නඩු පැවරීම් සඳහා විශ්ව අධිකරණ බලය වැනි පිළිගත් මූලධර්ම යටතේ සහයෝගය ලබා දෙන ලෙස මෙම වාර්තාව මගින් අනෙකුත් රාජ්‍යයන්ගෙන් ද ඉල්ලීමක් කරනවා.