ප්රබල මත්ද්රව්ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්රමරත්න හෙවත් හරක් කටා නමැතාගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12 ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පත්කර සිටි රකිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු සැකකරුවන් තුන්දෙනෙකුට ඇප ලබාදීමට කොළඹ මහේස්ත්රාත් අධිකරණය දුන් තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අල්ලස් කොමිසම විසින් ගොනු කළ ප්රතිශෝධන පෙත්සම් විභාගය සඳහා පෙබරවාරි මස 09 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.
අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ මෙම ප්රතිශෝධන පෙත්සම් කොළඹ මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා මෙම නඩුකරවලට අදාල විරෝධතා තිබේ නම් ඒවා නොවැම්බර් මස 14 වනදාට පෙර ගොනු කිරීමට පියවර ගන්නා ලෙස වගඋත්තරකරුවන්ට නියම කළා.
එම විරෝධතා වලට ප්රතිවිරෝධතා තිබේ නම් ඒවා ජනවාරි මස 28 වන දාට පෙර ගොනුකරන ලෙසත් මෙහිදී විනිසුරුවරයා විසින් අල්ලස් කොමිසමට නියම කරනු ලැබුවා.
මෙම ප්රතිශෝධන පෙත්සම් අද කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්යක්ෂ ජෙනරාල් අනුෂා සම්බන්ධප්පෙරුම මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම ප්රතිශෝධන පෙත්සම් තුළින් අතුරු නියෝගයක් අපේක්ෂා කරන බව සඳහන් කළා.
මෙහිදී මහාධිකරණ විනිසුරුවරයා සහකාර අධ්යක්ෂ ජනරාල්වරිය වෙත ප්රශ්නයක් යොමු කරමින් ” එම අතුරු නියෝගය තුළින් අපේක්ෂා කරන්නේ කුමක්දැයි” විමසුවා.
ඊට පිළිතුරු දුන් සහකාර අධ්යක්ෂ ජනරාල්වරිය ” ස්වාමීනි... මෙම වගඋත්තරකරුවන් ඇපමත මුදා හරිමින් මහේස්ත්රාත්වරයා නිකුත් කළ ඇප නියෝගය අත් හිටුවන ලෙස මෙම අතුරු සහන නියෝගය තුළින් ඉල්ලා සිටිනවා” යනුවෙන් පැවසුවා.
එහිදී යළි ප්රශ්නයක් මතු කළ විනිසුරුවරයා ”මෙම පෙත්සම් වලින් ඉල්ලා සිටින අවසන් සහනය කුමක්දැයි” යලිත් විමසා සිටියා.
ඊට පිළිතුරු දුන් සහකාර අධ්යක්ෂ ජෙනරාල්වරිය ” මහේස්ත්රාත්වරයා විසින් ප්රදානය කරන ලද ඇපය අවලංගු කරන ලෙසයි ඉල්ලා සිටින්නේ” යනුවෙන් පැවසුවා.
එහිදී විවෘත අධිකරණයේ ප්රකාශයක් සිදු කළ මහාධිකරණ විනිසුරුවරයා ” මෙම පෙත්සමේ අතුරු සහනය සහ අවසාන ඉල්ලීම සමාන බව පෙනී යනවා. එවැනි අවස්ථාවක අතුරු සහන ඉල්ලීම පිළිබඳ සලකා බැලිය නොහැකි බවට නීතිමය තත්ත්වයක් තිබෙනවා. එවැනි තත්ත්වයක් යටතේ මෙවැනි අතුරු සහන ඉල්ලා සිටින්නේ කොහොමද?” යනුවෙන් විමසුවා.
ඒ අනුව මෙම පෙත්සම් වලින් ඉල්ලා තිබෙන අතුරු සහන ඉල්ලීම් සම්බන්ධයෙන් මෙම අවස්ථාවේදී කරුණු දැක්වීමක් නොකරන බව සහකාර අධ්යක්ෂ ජෙනරාල් වරිය කියා සිටියා.
ඒ අනුව මෙම පෙත්සම විභාගයට ගැනීම මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළා.
අල්ලස් කොමිසම සිය ප්රතිශෝධන පෙත්සම් වලින් කියා සිටින්නේ ප්රබල මත්ද්රව්ය ජාවාරම්කරුවකු බව කියන හරක් කටා නමැත්තාගේ බිරිඳ ගෙන් රුපියල් කෝටි 12 ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කර සිටින රකිත රාජපක්ෂ, චරිත් අබේසිංහඇතුළු සැකකරුවන් තුන්දෙනෙකු ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්රාත් අධිකරණය දුන් නියෝගය නීතියට පටහැණි බවයි.
ඒ අනුව අදාළ ඇප නියෝගය ප්රතිශෝධන කර එම ඇප නියෝග බල රහිත කිරීමේ නියෝග නිකුත් කරන ලෙසත් අල්ලස් කොමිසම විසින් ගොනු කළ ප්රතිශෝධන පෙත්සම් වලින් ඉල්ලා තිබෙනවා.




