රාජ්‍ය සේවයේ වැටුප් ගැටළු සම්බන්ධයෙන් අදත් පාර්ලිමේන්තුවේදි විවිධ අදහස් පළ වුණා.

විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවට ප්‍රශ්නයක් යොමු කරමින් ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ මෙලෙසයි.
"මම විශේෂයෙන්ම අගමැතිතුමියත් ඉන්න අවස්ථාවේ මම කැමතියි මේ පේ ෂීට් එක හැන්සාඩ් ගත කරන්න, සභාගත කරන්න. දළ වශයෙන් ඉංජිනේරුවෙකුට මාසෙකට දැන් ලැබෙන්නේ රාජ්‍ය සේවයේ එක් ලක්ෂ හය දහසක් පමණ සොච්චම් ප්‍රමාණයක්. ඉතින් පුදුමයට පත් වෙන්න දෙයක් නැහැ මේ රටේ ඉංජිනේරුවරු රට අතහැරලා වෙනත් විදේශීය රටවල් වලට යෑම ඒක පුදුමයට කාරණාවක් නෙමෙයි. මොකද 2024 හත එක දින සිට අංක 28 / 2011 දරණ චක්‍රලේඛය යටතේ රාජ්‍ය ඉංජිනේරුවන්ට ලබා දුන් ශ්‍රේෂ්ඨ රාජකාරි දීමනාව - ඒකට කියනවා FAT කියලා, Field Attendance Transport Allowance, ඒ කියන්නේ ක්ෂේත්‍රයේ පැමිණීමේ සහ ප්‍රවාහනයේ දීමනාව - අත්හිටුවීමට පදනම් වූ හේතු කවරේද? දැන් මේක ඇත්ත වශයෙන්ම මේ අත්හිටුවීම කරලා තියෙන්නේ පහුගිය රජය සමයේ. ඇත්ත වශයෙන්ම මම මේ රජයෙන් ඉල්ලීමක් කරනවා පහුගිය රජය ගිය අඩිපාරේම යන්නේ නැතුව මේ FAT Allowance එක අපේ රටේ රාජ්‍ය ඉංජිනේරු ක්ෂේත්‍රයට ලබා දෙන්නට කටයුතු කරනවා. සාධාරණ සංශෝධනය තමයි මේ සේවාවට විශේෂිත සැලකිල්ලක් දක්වලා ඒ FAT Allowance එක හැත්තෑ පන්දාහ දක්වා වැඩි කිරීම තමයි අපි කරන සාධාරණ යෝජනාව කියන එක මම මේ අවස්ථාවේ කියන්නට කැමතියි."

මේ අතර අයවැය දෙවන වර කියවීමේ විවාදයේ හය වන දිනය වන අද විවාදය ආරම්භ කරමින් අදහස් දැක්වූ අමාත්‍ය කේ ඩි ලාල් කාන්ත මහතා කියාසිටියේ රාජ්‍ය සේවයේ වැටුප් ගැටළු වට මෙම අයවැයෙන් විසදුම් දිය නොහැකි බවයි.
"මට පෙර අපේ ගරු විපක්ෂ නායකතුමාත් රාජ්‍ය සේවයේ තියෙන බරපතළ අර්බුදයක් සම්බන්ධයෙන් තමයි කතා කළේ. එතුමා මතු කරපු කාරණා ටික ගත්තොත් ඔක්කොම හරි. එහෙම ප්‍රශ්නයක් තියෙනවා රටේ බරපතළ. ඉංජිනේරු සේවාවම ගත්තොත් මේ වෙනකොට මේ අයවැයෙන් ඒ අයට මොකක්වත් ලැබුණේ නෑ කියලා යම්කිසි ආකාරයක ඒගොල්ලෝ වෘත්තීය ක්‍රියාමාර්ගත් ගනිමින් ඉන්නවා. අපේ අමාත්‍යාංශයටත් ගොඩක් සම්බන්ධයි, වාරිමාර්ග ඉංජිනේරුවෝ ඉන්න නිසා. එතුමලත් විටින් විට අවස්ථා ගණනාවකදී එතුමලාගේ වෘත්තීය සමිතිය මාත් එක්කත් සාකච්ඡා ගණනාවක් පවත්වලා ඉංජිනේරු මහත්වරුන්, ඉංජිනේරු නෝනලා ඒ ක්ෂේත්‍රයේ තියෙන පුරප්පාඩු සම්බන්ධයෙන් විශාල වශයෙන් සාකච්ඡා කරලා තිබෙනවා. ඒ කරන සාකච්ඡාව සම්පූර්ණ ඇත්ත. ඒ වගේම තමයි වැටුප් පිළිබඳ ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. අපේ ආයතන ගණනාවකම ඉංජිනේරු මහත්වරුන්ගේ, නෝනලාගේ බරපතළ හිඟයක් පවතිනවා. මේ ආයතන ඇත්තටම වැඩ කරගෙන යන්නේ රාජ්‍ය සේවයේ හරිම අමාරුවෙන්. ඉන්න අයත් රට හැර යන ප්‍රවණතාවයක් තිබෙනවා. ඒ නිසා අපේ ගරු විපක්ෂ නායකතුමා මතු කරපු කාරණා ඇත්ත. මේ බරපතළ ප්‍රශ්නයක් තියෙනවා ඉංජිනේරු ක්ෂේත්‍රයේ. ඉතින් ඒ සම්බන්ධයෙන් විසඳුම් හොයන්න අපි මේ අයවැයෙන්, අයවැය සීමාව ඇතුළේ බැරිකමක් තියෙනවා. ඒක අයවැයෙන් විසඳන්න බැහැ. අයවැයෙන් විසඳන්න ගියොත් සමස්ත රාජ්‍ය සේවයේම බරපතළ ගැටලු, විෂමතා, ප්‍රශ්න ගණනාවක් මතු වෙනවා. නමුත් ඒ ප්‍රශ්න ඉක්මනින් විසඳන්න ඕන. අපි වැටුප් කොමිෂන් එකක් පත් කළා මේ අවුරුද්දේ ජූලි මාසේ දෙවැනිදා. ඒ වැටුප් කොමිෂන් එක හරහා තමයි අපිට මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයන්න වෙන්නේ.

රාජ්‍ය සේවයේ වැටුප් ගැටළුව විසදිම සදහා පත් කර ඇති වැටුප් කොමිසම මගින් එම ගැටළු විසදා ගත යුතු බවද අමාත්‍ය කේ ඩී ලාල් කාන්ත මහතා එහිදි කියාසිටියා.
"මේවා අපි ඉක්මනින් විසඳුම් හොයන්න ඕන ප්‍රශ්න. නමුත් රාජ්‍ය සේවයේ කොතැනට හරි ඒ වෙනම උත්තර හොයන්න කියලා අත තිබ්බොත් මුළු රාජ්‍ය සේවයම බරපතළ අවුලකට යනවා. ඒ නිසා අපි ඒ හැමෝගෙන්ම ඉල්ලනවා මේ දෙසැම්බර් 31ට පෙර දිනයක් වැටුප් කොමිෂන් එක ප්‍රකාශ කරලා තියෙනවා, සියලු වෘත්තීය සමිති තමන්ට තියෙන ප්‍රශ්න, ගැටලු, විෂමතා, සේවා ව්‍යවස්ථා පිළිබඳ තියෙන අර්බුද, ඒ අයගේ යෝජනා වැටුප් කොමිෂන් එකට ඉදිරිපත් කරන්න කියලා. ඒ හරහා තමයි අපිට මේකට ස්ථිරසාර විද්‍යාත්මක උත්තරයක් හොයාගන්න වෙන්නේ. මම හිතනවා වෘත්තීය සමිති ව්‍යාපාරයට ඒ බුද්ධිය තියෙනවා කියලා."

ඉන් අනතුරුව විවාදයට එක් වූ සමගි ජනබලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුම බණ්ඩාර මහතා මෙලෙස අදහස් පළ කළා.

ලාල්කාන්ත ඇමතිතුමාගේ කතාවෙන් අපිට තේරුණා මේ අයවැයේ අඩුපාඩු තියෙන විත්තිය, රාජ්‍ය සේවයට හරියට සලකලා නැති විත්තිය තමුන්නාන්සේ පිළිගත්තා. මට සැකයක් හිතුණා එතුමා කතා කරේ විපක්ෂයේ ඉඳලද කියලා. ප්‍රශ්න ගැන නෙවෙයි ඔබතුමා කතා කරන්න ඕන. ඔබතුමා කතා කරන්න ඕන මේකට උත්තරේ මොකක්ද කියලා. තමුන්නාන්සේලා උත්තරයක් දෙන්න අසමත් වෙලා තියෙනවා. මේ ආණ්ඩුවේ තුන්වෙනි අයවැය. මේ අයවැය ඉවර වෙනකොට අවුරුදු තුනක් ඉවරයි. තව අවුරුදු දෙකයි තියෙන්නේ. (ඒත් දන්නෙත් නෑ.) අවුරුදු තුනේදී තමයි ප්‍රශ්න දෙන්නේ. අපි දන්නවා අයවැයක් ඉදිරිපත් කරද්දී ජනතාවගේ බලාපොරොත්තු තියෙනවා. ජීවන වියදම ඉහළ නැගලා තියෙන වෙලාවේ, තෙල් මිල, ගෑස් මිල, බඩු මිල ඉහළ නැගලා තියෙන වෙලාවේ ජනතාව බලාගෙන හිටියා සහනයක් දෙයි කියලා. ඒ සහනේ මේ අයවැයෙන් නෑ. ගොවියා බැලුවා අද මේ රටේ දුප්පත්ම තැනට වැටිලා තියෙන්නේ මේ රටේ ගොවියා. වී ටික විකුණගන්න බෑ. පොහොර සහනාධාරය සොච්චමයි. අපි දැක්කේ නෑ කෘෂිකර්ම ඇමතිතුමා ගොවියාට අමුතුවෙන් දුන්න සහනයක්."