රක්‍ෂිත බන්ධනාගාර ගත කළ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර මහතා කොළඹ මැගසින් බන්ධනාරයේ රදවා සිටිනවා.

ඊයේ පස්වරු 5.30 ට පමණ ඔහු මැගසින් බන්ධනාගාරය වෙත රැගෙන ආ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඒ අනුව ඔහු වෙනත් රැදවියන් සමග බන්ධනාගාර වාට්ටුවක රදවා සිටිනවා.

බන්ධනාගාරය තුළදි ඔහුට විශේෂ පහසුකමක් ලබා නොදෙන බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවා.

සුගීෂ්වර බණ්ඩාර මහතා ඊයේ දහවල් කොල්ලුපිටිය ප්‍රදේශයේදි මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගැණුනා.

2022 වසරේ විශ්‍රාමික ජනාධිපතිවරයෙකු වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ලේකම්වරයෙකු වශයෙන් සිටිමින් හා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරය දැරූ එම කාල වකවානුව තුළම ජනාධිපති ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරමින් ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම මොහුට එල්ල වී ඇති චෝදනාවයි.

සුගීෂ්වර බණ්ඩාර මහතා ඉහත තනතුරු දරමින් සිටියදී රජයේ වාහන අවභාවිතා කිරීමක් හා එහි සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීමට කටයුතු කිරීමක් සම්බන්ධයෙන් ද මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන පවත්වන බවයි පොලීසිය පැවසුවේ.

අත්අඩංගුවට ගැනුණු සුගීෂ්වර බණ්ඩාර මහතා ඊයේ පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන ජුලි මස පළමු වනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.