ලෝක මලල ක්‍රීඩා සංගමයේ නවතම හෙල්ල විසිකිරීමේ ශ්‍රේණිගත කිරීම්වල ප්‍රථම ස්ථානය යළිත් වරක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත්ව තිබෙනවා.

ස්විට්සර්ලන්තයේ ලොසෑන් නුවර පැවැති ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ 12 වන අදියරේදී ඉහළ දක්ෂතාවක් දක්වමිනුයි ඔහු මෙලෙස ලෝක ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණට පැමිණ ඇත්තේ.

පසුගිය අගෝස්තු 21 වනදා පැවති එම තරගයේදී මීටර් 88.14 ක දුරක් හෙල්ල විසිකරමින් ප්‍රථම ස්ථානය දිනාගැනීමට රුමේෂ් සමත් වුණා.

නව ශ්‍රේණිගත කිරීම්වලට අනුව ලකුණු 1,363 ක් ලබාගනිමින් රුමේෂ් තරංග පළමු ස්ථානයට පත්වෙද්දී, මෙතෙක් එහි පෙරමුණේ පසුවූ ජර්මනියේ ජූලියන් බෙබර් ලකුණු 1,342 ක් ලබාගනිමින් දෙවැනි ස්ථානයට ඇද වැටී තිබෙනවා.

ලොසෑන් අදියර ආරම්භ වන විට ජූලියන් බෙබර් පළමු ස්ථානයේත්, රුමේෂ් දෙවැනි ස්ථානයේත් පසුවූ නමුත් බෙබර් අදාළ තරගාවලියට සහභාගී වූයේ නැහැ.

ග්ලාස්ගෝහි පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී මීටර් 89.75 ක දක්ෂතාවක් දක්වමින් රන් පදක්කම දිනාගැනීමට ද රුමේෂ් තරංග සමත් වුණා.