සමාජ මාධ්‍ය ඔස්සේ හඳුනා ගන්නා වංචනික පෙම්වතුන් සහ ආගන්තුක පුද්ගලයන්ගෙන් ප්‍රවේශම් වන ලෙස පොලිසිය මහජනතාවට නැවත දැනුම් දෙනවා.
පෙම්වතුන් ලෙස හෝ සමීප හිතවතුන් ලෙස පෙනී සිට විවාහ පොරොන්දු ලබාදී හෝ වෙනත් ආකාර වලින් විශේෂයෙන්ම කාන්තාවන් මුලාකර මුදල් හෝ දේපළ වංචා කරන නැතහොත් ලිංගික අතවර සිදු කරන තැනැත්තන් පිළිබඳ පැමිණිලි ගණනාවක් මෑතදී ලැබී ඇති බවයි පොලිසිය පවසන්නේ.
මෙම ඇතැම් වංචාවන් අවසන් වී ඇත්තේ මනුෂ්‍ය ඝාතනයකින් බවද නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය පවසනවා.
ඒ නිසා එවැනි වංචනිකයන්ට හසු නොවීමට කල්පනාකාරී විය යුතු බවයි පොලිසිය අවධාරණය කරන්නේ.
මේ අතර අන්තර්ජාලය ඔස්සේ තැනැත්තන් මුලාකර දිගින් දිගටම සිදුවන මේ ආකාරයේ වංචා සහ මනුෂ්‍ය ඝාතන පිළිබඳ අපරාධ පිළිබඳ පොලිස්පතිවරයාගේ ද විශේෂ අවධානයට යොමු තිබෙනවා.
ඒ අනුව එවැනි වංචා සහ වෙනත් අපරාධවලින් මහජනතාව ආරක්ෂා කිරීම සඳහා දිවයිනේ සියලුම පොලිස් ස්ථාන, බුද්ධි අංශ සහ සිවිල් නිලධාරීන් දැනුවත් කර තොරතුරු රැස් කිරීම මේ වන විටත් ආරම්භ කර තිබෙන බවයි පොලිසිය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.
මෙම අවස්ථාවේදී ආරක්ෂාව වෙනුවෙන් මහජනතාව සැලකිලිමත් විය යුතු සහ පිළිපැදිය යුතු මාර්ගෝපදේශ කිහිපයක්ද මෙමගින් ලබා දී තිබෙනවා.
සමාජ මාධ්‍ය හරහා හඳුනා ගන්නා නාඳුනන පුද්ගලයන් විශ්වාස කර මුදල්, රත්තරන් බඩු හෝ වෙනත් වටිනා දේපළ ලබාදීමෙන් වැළකිය යුතු බව පළමු මාර්ගෝපදේශයයි.
සංවේදී ඡායාරූප හෝ වීඩියෝ දර්ශන කිසිම විටක නාඳුනන පුද්ගලයන් වෙත යැවීමෙන් වළකින ලෙසද උපදෙස් දී තිබෙනවා.
ජාතික හැඳුනුම්පත් අංකය, බැංකු ගිණුම් තොරතුරු හෝ පෞද්ගලික ලිපිනයන් ආගන්තුකයන්ට ලබාදීමෙන් ද වැළකිය යුතුයි.
සැකකටයුතු ඇමතුම් හෝ පණිවිඩ මඟින් කෙරෙන හමුවීම්වලට යාම ප්‍රතික්ෂේප කරන ලෙසයි පොලිසිය මහජනතාවට වැඩිදුරටත් උපදෙස් දෙන්නේ.
ඔබ හෝ ඔබ දන්නා කෙනෙකු මෙවැනි වංචාවකට හෝ අතවරයකට ලක්ව ඇති බව හැඟේ නම්, වහාම ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කරන ලෙස ඉල්ලීමක්ද කෙරෙනවා.
118, 119, 107 හෝ 109 යන හදිසි ඇමතුම් අංක ඔස්සේද එවැනි තොරතුරු කඩිනමින් පොලිසිය වෙත ලබාදිය හැකියි.




