වර්ජනය ක්‍රියාත්මක වුවද අද පෙරවරු 7.30 වනවිට කාර්යාල දුම්රිය 60කට වැඩි ප්‍රමාණයක් ධාවනයට එක් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

නෙත් නිවුස් මීට නොබෝ වේලාවකට පෙර කළ විමසීමකදී දුම්රිය ගමනා ගමන අධිකාරී අසංක සමරසිංහ මහතා පැවසුවේ සෑම දුම්රිය මාර්ගයකම වෙනදා මෙන් අද දිනයේ එලෙස දුම්රිය ධාවනයට එක් කළ බවයි.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් පැය 48 ක වැඩවර්ජනයක් ආරම්භ කළේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිටයි.

ඒ, දීර්ඝ කාලයක සිට දුම්රිය ක්ෂේත්‍රය තුළ පවතින ගැටලු පිළිබඳව බලධාරීන් ක්‍රියාමාර්ග නොගැනීමට එරෙහිවයි.

පවතින ගැටළු සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී බලධාරීන් සමග සාකච්ඡා කළද විසඳුම් නොලැබීම හේතුවෙන් එලෙස වැඩවර්ජනය ආරම්භ කළ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පැවසුවා.