වාහන ආනයනය මඟින් රේගුවට ලැබී ඇති ආදායම සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.

ගත වූ දින කිහිපය තුළම වාහන ආනයන තුළින් ලැබූ රේගු ආදායම රුපියල් බිලියනයටත් වඩා අඩු වී ඇති බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා පැවසුවේ.

කෙසේවෙතත් මෙම වසරේ ශ්‍රී ලංකා රේගුව සඳහා ලබා දී ඇති රුපියල් බිලියන 2,206ක අදායම් ඉලක්කය සපුරාගැනීමේ හැකියාවක් පැහැදිලිවම පවතින බවත්, රජය විසින් මෙම වසරේ ශ්‍රී ලංකා රේගුව වෙත ලබා දී ඇති අදායම් ඉලක්කයෙන් රුපියල් බිලියන 1,809.8ක ආදායමක් උපයාගෙන ඇති බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළා.

''මේ වෙනවිට අපිට ලබාදීලා තියෙන ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන 2206 කියන ඉලක්කය සපුරා ගැනීමේ හැකියාව පැහැදිලිව අපි දකිනවා. දැනටමත් ඒ ඉලක්කයෙන් රුපියල් බිලියන 1809.8 ක් මේ වෙනකොට අපි එකතු කරලා තියෙනවා. සෑම මාසයකම 40% ක්, 30% ක්, 29% ප්‍රමාණවලින් මාසික ඉලක්කය ඉක්මවා යමින් තියෙනවා.මේ මාසේ ඉලක්කය සම්පූර්ණ කරගන්නවා, හැබැයි අර පහුගිය මාසවල වගේ විශාල අමතර ආදායමක් එකතු කරගැනීමේ හැකියාවක් මේ මාසේ අපිට දකින්න නැහැ. මේ මාසේ ඇත්තටම මේ වනකොට අපි අපේ ඉලක්කය වන රුපියල් බිලියන 190.2 න් 176.7 ක් මේ වෙනකොට එකතු කරලා තියෙනවා. ඒක 93% ක්. ''