පසුගිය රජය සමයේ විද්‍යුත් විසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගම් වෙත පැවරීම සඳහා ඇතිකර ගෙන තිබෙන ගිවිසුම්වල නීත්‍යානුකූල භාවය පිළිබඳව යළි සලකා බැලීමට වත්මන් අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයි නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.
ඉකුත් රජය සමයේ විද්‍යුත් විසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පුද්ගලික සමාගම්වලට පැවරීමට එවක අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය අභියෝගයට ලක් කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජනාධිපති නීතීඥ එම් ඒ සුමන්දිරන්, පාඨලී චම්පික රණවක සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විවේකා සිරිවර්ධන මහත්මිය මෙම දැනුම් දීම සිදුකළා.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන. අචල වෙංගප්පුලි හා අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් කැදවනු ලැබූවා.
අදාල පෙත්සම් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් පෞද්ගලික සමාගම් සමග ඇති කරගත් ගිවිසුම්වල නීත්‍යානුකූල භාවය පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා වත්මන් අමාත්‍ය මණ්ඩලය විසින් අනු කමිටුවක් පත් කර ඇති බවයි.
එම කමිටුව අදාළ කරුණු අධ්‍යයනය කරමින් සිටින බව සඳහන් කළ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය එම කටයුතුවල ප්‍රගතිය දැනුම් දීම සඳහා දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.
එම අවස්ථාවේදී පෙත්සම්කරුවකු වූ ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම ගනුදෙනුව අවලංගු කිරීමට වත්මන් රජය තීරණය කර තිබුණත් මෙම පෙත්සම ඉදිරියට පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බව සඳහන් කළා.




