විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින ගැටළු විසදීම සදහා රජය කඩිනම් පියවර ගත යුතු බව විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා.

ඒ සදහා රජයට බලකරමින් අද දිනයේ එක්දින වැඩ වර්ජනයේ නිරතව සිටින බවයි එම සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පැවසුවේ.

"විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය විදිහට අපි පහුගිය මාස කිහිපයේම විවිධ වෘත්තීය ක්‍රියාමාර්ගවලට ගියා. විශේෂයෙන්ම විශ්වවිද්‍යාල පද්ධතියේ මේ වෙනකොට ඇතිවෙලා තියෙන දැඩි අර්බුදකාරී තත්ත්වයත් එක්ක. මොකද හේතුව, දැන් විශ්වවිද්‍යාල පද්ධතිය ගත්තොත්, පළවෙනියටම ශිෂ්‍ය සංඛ්‍යාව, දැන් අපි පහුගිය වසර 10ක් තුළ ශිෂ්‍ය සංඛ්‍යාව දෙගණයකට වඩා වැඩිවෙලා තියෙනවා. ඒ කියන්නේ වසරකට බඳවාගන්න ශිෂ්‍ය ප්‍රමාණය 25,000 සිට 43,000 දක්වා වැඩිවෙලා තියෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තොත් ආචාර්යවරුන්ගේ ප්‍රමාණය, 5,100ක් වගේ 2015 හිටියා. නමුත් ඒක පහුගිය වසර තුළ, පහුගිය වසර කිහිපය තුළ යම් යම් ප්‍රමාණවලින් අඩුවීමට ලක්වුණා. දැන් ඇත්තටම ගත්තොත් 2015 ඉඳලා හිටපු 5,100ක් වගේ ප්‍රමාණය 6,000ට එහා ප්‍රමාණයක් ආවා 2020 වෙනකොට. නමුත් ඒ පහුගිය වසර කිහිපය තුළ 1,000කට වැඩි අධික ආචාර්යවරු ප්‍රමාණයක් විශ්වවිද්‍යාල හැරගිහිල්ලා තියෙනවා. ඒ වගේම අනික් කාරණය තමයි, විශ්වවිද්‍යාලවලට ආචාර්යවරු බඳවාගැනීමත් මේ වෙනකොට බරපතල අර්බුදයකට ලක්වෙලා තියෙනවා. දැන් මේ ආණ්ඩුව ආවට පස්සේ බඳවාගැනීම්වලට ඉඩදුන්නට, ඒවට විශේෂයෙන්ම විද්‍යා සහ ගණිත ක්ෂේත්‍රවල, Engineering Faculties, Science Faculties වල පවා අයදුම් කරන්නේ නැති තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. අපි විශ්වවිද්‍යාල පද්ධතියට බඳවාගන්න අවශ්‍ය ඉහළම ගුණාත්මක තත්ත්වයෙන් යුතු ආචාර්යවරු, හැබැයි ඒකට දැන් ඒක කරන්න බැරි තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. එතකොට මේකට විසඳුම් ඉල්ලලා තමයි අපි පහුගිය කාලෙම විවිධ වෘත්තීය ක්‍රියාමාර්ගවලට ගියේ."

"උසස් පෙළ අවසන් වෙලා වසර කිහිපයක් නිවෙස්වල රැඳිලා ඉන්න සිද්ධ වෙලා තියෙනවා විශ්වවිද්‍යාල ප්‍රවේශයට. ඒ කියන්නේ විශ්වවිද්‍යාලවලට ප්‍රවේශ වෙන්න. එතකොට මේ තත්ත්වය මං හිතන්නේ අපි අමුතුවෙන් කියන්න ඕන නෑ, මේ රටේ සමස්ත මහාජනතාව තමන්ගේ දරුවාගේ අධ්‍යාපනය පිළිබඳ උනන්දුවක් තියෙන හැමදෙනාම මේක දන්නවා. මොකද හේතුව, උසස් පෙළ ඉවරවෙලා වසර ගණනාවක් ගෙදර ඉන්න ඕනේ විශ්වවිද්‍යාලවලට එන්න. එතකොට මේ තත්ත්වය තවදුරටත් සංකීර්ණ වෙමින් යනවා. මෙහෙම තවත් ගියොත් ලබන වසර වෙනකොට, දැන් අපිට මේ වෙනකොට 2025 උසස් පෙළ කරපු ශිෂ්‍ය කණ්ඩායමවත් බඳවාගන්න බැරි තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. මේක තවදුරටත් තීව්‍ර වෙන්න පුළුවන්. එතකොට මේක ඉතාම බරපතල තත්ත්වයක්, මොකද රටේ අධ්‍යාපනය කඩාවැටෙනවා කියන්නේ රට කඩාවැටෙනවා කියන එක. ඒක නිසා මෙයට විසඳුම් ඉල්ලලා තමයි අපි වෘත්තීය ක්‍රියාමාර්ගවලට ගියේ. ඒකේ තවත් පියවරක් විදිහට තමයි අද දවසේ එක්දින වැඩවර්ජනයක්, ඒ වගේම කොළඹදී පාගමනක් සහ සම්මන්ත්‍රණයක් සංවිධානය කරලා තියෙනවා. අපි හිතනවා ආණ්ඩුව මේවට ඇහුම්කන් දීලා, මේවා අවබෝධ කරගෙන කඩිනම් විසඳුම් ලබාදෙයි කියලා. මොකද මේවා කල් ඇරලා කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒක නිසා එහෙම විසඳුම් නැති වුණොත් අපිට තවදුරටත් මේක මේ රටේ සමස්ත මහාජනතාව, මේකෙන් පීඩාවට පත්වුණු දෙමාපියෝ, දරුවෝ මේ සියලුදෙනාත් එක්ක, අධ්‍යාපනයට සම්බන්ධ සියලුදෙනාත් එක්ක තවදුරටත් මේ ක්‍රියාමාර්ග තීව්‍ර කරන්න අපිට සිද්ධ වෙනවා.''