ශ්‍රී ලාංකික පුරවැසියන් මත්පැන් පරිභෝජනය සඳහා දිනකට රුපියල් මිලියන 560ක් හෙවත් රුපියල් ලක්ෂ 5,600ක් වැය කරන බව නවතම අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

මෙම අධ්‍යනය උපුටා දක්වමින් මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය හෙවත් ADIC ආයතනය පවසන්නේ ශ්‍රී ලංකාවේ මත්පැන් පරිභෝජනය කරන පුද්ගලයින්ගෙන් සැලකිය යුතු පිරිසක් අඩු ආදායම්ලාභීන් බවද හඳුනාගෙන තිබෙන බවයි.

මේ අතර මත්පැන් භාවිතයෙන් ඇතිවන ව්‍යාකූලතා හේතුවෙන් ශ්‍රී ලංකාවේ වාර්ෂිකව පුද්ගලයින් 20,000ක් පමණ මරණයට පත්වන බවද හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මත්පැන් භාවිතයෙන් ඇතිවන ව්‍යාකූලතා හේතුවෙන් ශ්‍රී ලංකාවේ දෛනිකව සිදුවන මරණ ගන්න 55ක් පමණ බවයි ADIC ආයතනය වැඩිදුරටත් පැවසුවේ.

මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතයේ අහිතකර බලපෑම් පිළිබඳ දැනුවත් කිරීමට අනුරාධපුර දිස්ත්‍රික්කයේ පැවති වැඩසටහනකදී මෙම කරුණු අනාවරණ කෙරුනා.

එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ ශ්‍රී ලංකාවේ මුලු ජනගහනයෙන් සියයට 20ත් 22ත් අතර පිරිසක් නිතිපතා මත්පැන් පරිභෝජනය කරන බවයි.

පිරිමි ජනගහනයෙන් සියයට 43ක් පමණද කාන්තා ජනගහනයෙන් සියයට 12ක් පමණද මත්පැන් පරිභෝජනය කරන බව ද අධ්‍යයනයේදී අනාවරණ වී තිබෙනවා.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය 2019 වසරේ දත්ත පදනම් කරගෙන 2024 වසරේදී නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ මත්පැන් භාවිතය හේතුවෙන් ලොව පුරා පුද්ගලයින් මිලියන 2.6ක් පමණ වසරක් තුළ මිය ගොස් තිබූ බවයි.