රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම් සලකා බැලීම අද පෙරවරුවේ ආරම්භ වුණා.
මෙම පෙත්සම් අග විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම විභාගය පැවැත්වෙනවා.
පෙත්සම් මුලින්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ 502 ශාලාවේ විභාගය සඳහා කැඳවනු ලැබුවා.
ඒ අවස්ථාවේදී ජනාධිපති නීතීඥ එම් ඒ සුමන්දිරන් මහතා ඇතුළු නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් 502 ශාලාව තුළ ප්‍රමාණවත් ඉඩ පහසුකම් නොමැති කම නිසා එය විශාලත්වයකින් යුත් 501 ශාලාව වෙත මාරුකරන ලෙස ඉල්ලා සිටියා.
මෙය මහජන අවධානයට පාත්‍ර වන නඩුකරයක් බැවින් එය සෑම පුද්ගලයෙකුටම සවන් දීමට හැකිවන පරිදි ඉඩ පහසුකම් සහිත 501 ශාලාව වෙත මාරු කරන ලෙසත් එම නීතිඥවරු ඉල්ලා සිටියා.
එම ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල, පසුව මෙම නඩු විභාගය 501 ශාලාව වෙත මාරු කිරිමට නියම කළා. ඒ අනුව 501 ශාලාවේ මෙම පෙත්සම් විභාගය දැන් පැවැත්වෙනවා.
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 67 ක් ගොනු කර තිබෙනවා.
ඒ අතරින් පෙත්සම් 41ක් මාර්ග ගත ක්‍රමයට ගොනුකර තිබීම විශේෂත්වයක්.
ඊට අමතරව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන පෙත්සම් සංඛ්‍යාව 05 ක් වනවා.




