ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් මේ වන විට කතාබහට ලක්වන ගැටළු සියල්ල සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුව ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසනවා.
නෙත් නිවුස් වෙත විශේෂ අදහස් දැක්වීමක් සිදුකරමින් විභාග කොමසාරිස් ජනරාල්වරිය පැවසුවේ සෑම ගැටළුවක් සම්බන්ධයෙන්ම වෙන් වෙන්ව සොයා බලන බවයි.
කෙසේ වෙතත් විභාගය නැවත පැවැත්වීමට හෝ අවලංගු කිරීමට තරම් ගැටළුවක් වාර්තා නොවන බවද අවධාරණය කෙරුණා.
ශිෂ්‍යත්ව විභාගයේ දෙවන ප්‍රශ්න පත්‍රයේ තිබූ එක් ප්‍රශ්නයක් පිළිබද මතුව ඇති ගැටළුව මෙම ගැටළු අතරින් ප්‍රධානයි.
ඒ, එම ගැටළුව විභාගයට පෙනී සිටි සියළු සිසුන්ට අදාල වන බැවින්.
ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පැවසුවේ එම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ මණ්ඩලයක් හරහා විශේෂ විමර්ෂණයක් සිදු කරන බවයි.
කිසිදු විටෙක විභාගයට පෙනී සිටි දරුවන්ට අසාධාරණයක් සිදුවීමට ඉඩ නොතබන බවද ඇය අවධාරණ කළා.
ඒ අනුව මෙම විමර්ෂණයේදී එම ප්‍රශ්ණයට සෑම දරුවෙකුටම ලකුණු ලබා දිය යුතු බවට නිර්දේශයක් ලැබුණහොත් ඒ සම්බන්ධයෙන් ද අවධානය යොමු කරන බවයි විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පැවසුවේ.
මේ අතර, 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේදී තම දරුවන්ට අසාධාරණයක් සිදුවූ බව පවසමින් දෙමාපියන් පිරිසක් කිරිඳිවැල පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වනවා.
මෙලෙස ගැටළුවකට මුහුණ පා ඇත්තේ කිරිඳිවැල බෝගහවත්ත ජිනානන්ද ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් පිරිසක්.
කිරිඳිවැල මධ්‍ය මහා විද්‍යාලයේ පිහිටි විභාග මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිටි අවස්ථාවේදී පෙරවරු 11.15ට ලබාදීමට නියමිතව තිබූ ප්‍රශ්න පත්‍රය දරුවන්ට ලබාදී ඇත්තේ පෙරවරු 11.30ට බවටයි මව්පියන් පවසා ඇත්තේ.
අදාළ ප්‍රශ්න පත්‍රය පස්වරු 12.15ට යළි එකතු කර ඇති බවද සදහන්.



