සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් ආරම්භ කළ සිවුරට යුතුකම ”නිදහසේ පාද යාත්‍රාව” අද සිව්වන දිනට වරකාපොළින් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

එම පාද යාත්‍රාව අද නිට්ටඹුව දක්වා පැමිණීමට නියමිතයි.

මේ අතර පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මීට පෙර සිර දඩුවම් විදි ආකාරය සම්බන්ධයෙන් ඇතැමුන් සිදු කරන ප්‍රකාශ පිළිබදව පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් පළ කළා.

" ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවන් වහන්සේ 2018 වර්ෂයේ බන්ධනාගාර ගත වුණාට පසුව, සිරගත වුණාට පසුව බන්ධනාගාර ඇඳුම ඇන්දායි කියන වග යම් යම් උදවිය විවිධ මාධ්‍ය හරහා මුළුමනින් ප්‍රචාරයක් ලබා දෙමින් පවතිනවා. අපි මේ වෙලාවේ ඉතාමත් වගකීමෙන් කියනවා, එවකට හිටපු යහපාලන ආණ්ඩුව සමයේ යම් යම් උදවිය ගලබොඩඅත්තේ ඥානසාර හාමුදුරුවන් වහන්සේට බන්ධනාගාර ඇඳුම, එහෙමත් නැත්නම් සරලව දන්න භාෂාවෙන් කියනවා නම් ජම්පරය අන්දන්න යම් යම් උදවිය උත්සාහ කළත්, එවකට හිටපු රාජ්‍ය නායකයාගේ මැදිහත්වීම මත හා විවිධ පාර්ශ්වයන්ගේ මැදිහත්වීම මත, බොහෝ භික්ෂූන් වහන්සේලාගේත් ඍජු මැදිහත්වීම මත ඒ කටයුත්ත වලක්වාලන්න හැකියාව ලැබුණා. ඒ නිසා වෙනින් කවුරු කොහොම කිව්වත්, ජනාධිපතිතුමා එදා පැහැදිලිවම අපේ අනුනායක මහා නාහිමිපාණන් වහන්සේලා හමුවෙච්ච වෙලාවේ කිව්වා 2018 දී මේ වගේම උන්වහන්සේට බන්ධනාගාර ඇඳුමක් අඳින්න සිද්ධ වුණා වගේ, ඒ නිසා අපි මේ වෙලාවේ පැහැදිලිවම කියනවා, ඉතාමත් වගකීමෙන් කියනවා, 2018 වර්ෂයේ ගලබොඩඅත්තේ ඥානසාර හාමුදුරුවන් වහන්සේ බන්ධනාගාර ඇඳුම ඇන්දේ නැහැ, අඳින්න පසුබිම සකස් වුණෙත් නැහැ, උන්වහන්සේ එය ඍජුවම ප්‍රතික්ෂේප කළා. ඒ නිසා වෙනින් බන්ධනාගාරයට බලහත්කාරයෙන්වත් ඇඳුම අන්දවන්න හැකියාවක් නොලැබුණු වග මේ වෙලාවේ අපි මතක් කරන්නට ඕනා."