සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ප්‍රධාන නීති නිලධාරියෙකු දූෂණ චෝදනාවක් මත අත්අඩංගුවට ගෙන ලබන මැයි මස 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඊයේ පස්වරුවේ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ප්‍රධාන නීති නිලධාරියෙක්.
ඔහු විසින් "මෙඩි හවුස්" නමැති ගොඩනැගිල්ල සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත බදු පදනම මත ලබා ගැනීමෙන් අනතුරුව, එම බදු ගිවිසුම් කාලය දීර්ඝ කිරීම සඳහා ගිවිසුම් 3 ක් සකස් කර තිබෙනවා. ඒ වෙනුවෙන් ගාස්තු ලෙස ඔහු රුපියල් හතළිස් එක් ලක්ෂ තිස් හතරදහස් අටසිය අසූ හතක (රු. 4,134,887/-) මුදලක් ඉල්ලා ඇති බවයි හෙළිවී තිබෙන්නේ.
මෙම මුදලෙන් රුපියල් ලක්ෂ 20 ක මුදලක් ඔහු මුලින් ලබාගෙන ඇති අතර ඉතිරි මුදල පසුව ලබා දෙන ලෙස ඉල්ලා තිබෙනවා. එම ඉතිරි මුදලින් රුපියල් ලක්ෂ 5 ක මුදලක් අදාළ ආයතනයේ නමින් මහජන බැංකුවේ පවත්වාගෙන යනු ලබන ගිණුමකින් චෙක්පතක් ලෙස ලබා ගැනීමට යාමේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තුටු පඬුරු ඉල්ලීම සහ භාරගැනීම යන චෝදනා මත අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන මස 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග කර තිබෙන්නේ.




