මවගේ අවවාද හේතුවෙන් නිවසින් පලා ගිය දරුවෙකු දෙමටගොඩ දුම්රිය ස්ථානයේ සිටියදී එහි ආරක්ෂක නිලධාරීන් විසින් සිය භාරයට ගෙන ආපසු දරුවාගේ මවට භාරදී තිබෙනවා.

හලාවත, විලත්තව ප්‍රදේශයේ පදිංචි 12 හැවිරිදි පිරිමි දරුවෙකුයි මෙලෙස භාරදි ඇත්තේ. එම දරුවා හලාවත නගරයේ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබනවා.

පියා විදේශ ගත වී සිටීම හේතුවෙන් දරුවා තම මව සමග සිට ඇති අතර කිසියම් හේතුවකට මව විසින් කරල ලද අවවාද කිරීමකින් පසුව දරුවා නිවසින් පලාගොස් සිටි බවයි නෙත් නිවුස් නියෝජිත ජූඩ් සමන්ත පැවසුවේ.

ඊයේ දිනයේ පාසලට ගොස් ඇති එම දරුවා පාසල අවසන් වීමෙන් අනතුරුව හලාවත දුම්රිය ස්ථානයෙන් දුම්රියක නැග දෙමටගොඩ දුම්රිය ස්ථානය වෙත පැමිණ තිබෙනවා.

සිය දරුවා අතුරුදන්ව ඇති බවට ඔහුගේ මව හලාවත පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක්ද කර තිබූ බවයි නෙත් නිවුස් නියෝජිතයා වැඩිදුරටත් පැවසුවේ.