වන අලි ඇතුන්ගේ ජීවිත සුරැකීම සහ වන සතුන්ට එල්ල වන තර්ජන අවම කිරීමේ අරමුණින් ක්‍රියාත්මක ‘හස්ති සේනා’ ජාතික මෙහෙයුමට සමගාමීව මහකනදරාව ආශ්‍රිතව සිදුකළ විශේෂ මෙහෙයුමකදී එංගලන්තයේ නිෂ්පාදිත ගිනි අවියක්, හක්කපටස්, පතොරම් සහ වන සතුන් දඩයම් කිරීම සඳහා යොදා ගන්නා මදු රැසක් සොයා ගෙන තිබෙනවා.

ඒ, යුද හමුදාව සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කළ මෙහෙයුමකදීයි.

එම මෙහෙයුම මහකනදරාව, මරදන්කල්ල, කරඩික්කුලම, මහකිරින්දේගම, මිහින්තලය අභයභූමිය සහ පුංචිකුලම යන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමිනුයි මෙම  මෙහෙයුම ක්‍රියාත්මක කර තිබෙනවා.

පරිසර අමාත්‍යාංශයේ මඟපෙන්වීමෙන් සහ  යුද හමුදාපතිවරයාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක මෙම මෙහෙයුම සඳහා දායකත්වය ලබා දී ඇත්තේ  212 වන පාබල බලසේනාවට අයත් 7 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායයි.

 

මහජන ආදරයට පාත්‍ර වූ ‘අග්බෝ’ හස්තියා ඇතුළු වන අලි ඇතුන් රැසක් නිරන්තරයෙන් සැරිසරන මෙම කලාපය, වනජීවී අපරාධ බහුලව සිදුවන ප්‍රදේශයක් ලෙස හඳුනාගෙන තිබෙනවා.

වන අලි ඇතුන් ඇතුළු සමස්ත වනජීවී සම්පතේ ආරක්ෂාව තහවුරු කිරීම, නීතිවිරෝධී දඩයම් මැඬපැවැත්වීම සහ වනජීවී අපරාධ අවම කිරීම ‘හස්ති සේනා’ ජාතික මෙහෙයුමේ ප්‍රධාන අරමුණ වනවා.