දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල නැවත ජනවාරි මස 05 වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

මෙම නඩුකරය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරන බවයි.

ඒ අනුව නඩුකරය නැවත ජනවාරි මස 05 වනදා කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා එදින විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙසත් නියම කළා.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකයෙකු වශයෙන් කටයුතු කරමින් සිටියදී තම කාර්යාලයට බඳවා ගත් සේවකයින් තුන් දෙනෙකු සිය ඉන්ධන හලේ සේවයේ යෙදවීම තුළින් ”දූෂණය” නමැති වරද සිදුකළ බවට සැකපිට හිටපු අමාත්‍යවරයා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.