අභාවප්රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්රී එම්.කේ. ශිවාජිලිංගම් මහතාගේ මරණය වෙනුවෙන් ශෝකය පළ කරමින් උතුරු පළාතේ නගර පුරා කළු කොඩි ඔසවා තිබෙනවා.
උතුරු නැගෙනහිර ජනතාවගේ ගැටලු වෙනුවෙන් පෙනී සිටිමින් ඔහු සිදු කළ මෙහෙය සිහිපත් කිරීම සඳහා වවුනියාව සහ යාපනය ඇතුළු නගරවල මෙලෙස කළු කොඩි ඔසවා ඇති බවයි වාර්තා වන්නේ.
යුද්ධයෙන් අනතුරුව උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම්, අතුරුදහන්වූවන් සහ නැවත පදිංචි කිරීම් ආදී ගැටලු වෙනුවෙන් ඒ මහතා පෙනී සිටිමින් විසඳුම් ඉල්ලා සිටි බවත්, ඒ වෙනුවෙන් ගෞරවයක් ලෙස කළු කොඩි එසවූ බවත් වවුනියාව ප්රදේශයේ තරුණයින් පවසා තිබෙනවා.
වකුගඩු හා මුත්රා ආසාදන තත්ත්වයකින් පෙළුණු ඒ මහතා වැල්වැටිතුරෙයි රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී ඊයේ අලුයම ජීවිතක්ෂයට පත් වුණා.
මියයන විට ඔහු වැල්වැටිතුරෙයි නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියා.
1957 අගෝස්තු 15 වැනිදා යාපනය, වැල්වැටිතුරෙයි ප්රදේශයේ උපත ලැබූ ශිවාජිලිංගම් මහතා, 2001 සහ 2004 වර්ෂවලදී දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් යාපනය දිස්ත්රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වුණා.
එමෙන්ම 2010 ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග කළ ඒ මහතා, 2013 වසරේදී උතුරු පළාත් සභා මන්ත්රීවරයෙකු ලෙස ද කටයුතු කර තිබෙනවා.
යුද්ධය නිමාවීමෙන් පසු උතුරු නැගෙනහිර පැවති උද්ඝෝෂණ, උපවාස හා විරෝධතා සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළ ඒ මහතා, එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්රභාකරන්ගේ ළඟම ඥාතියෙකු ලෙස ද ප්රසිද්ධියට පත්ව සිටි අතර, අවසන් කාලයේදී ටෙලෝ (TELO) පක්ෂයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළා.







