බැකෝ යන්ත්‍ර යොදාගෙන අක්කරායන්කුලම් රක්ෂිත වනාන්තරය එළිපෙහෙලි කරමින් සිටි සැකකරුවන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, වනජීවි නිලධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බලකායේ කිලිනොච්චිය කදවුරේ නිලධාරීන් එක්ව සිදුකළ වැටලීමකදියි.

වැටලීම සිදුකළ අවස්ථාවේ සැකකරුවන් විසින් වනජීවි නිලධාරීන්ට සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට විරෝධය පළ කර නිලධාරීන්ට පහරදී ඔවුන්ගේ ගිනිඅවි උදුරා ගැනීමට තැත් කර තිබෙනවා.

එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විසින් අහසට වෙඩි තබා සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

ඔවුන් අක්කරායන්කුලම්, කිලිනොච්චිය හා පුනරින් ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.

සැකකරුවන් සිදුකළ පහරදීමෙන් තුවාල ලැබූ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සිව් දෙනෙකු ප්‍රතිකාර සදහා කිලිනොච්චි රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අක්කරායන්කුලම් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.