ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහා පෙරහැර නැරඹීම සදහා මේ වනවිටත් බොහෝ පිරිසක් මහනුවරට පැමිණ සිටිනවා.
අද පස්වරු හයයි හතලිස් තුනට යෙදෙන සුබ මොහොතින් පෙරහැර වීථි සංචාරය කිරීමට නියමිතයි.
ඒ පිළිබද තවත් තොරතුරු මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ රැදී සිටින නෙත් නිවුස් නියෝජිත කමල් සුරවීරගෙන්.
"මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසාන මහා රන්දෝලි පෙරහැර අද පස්වරු හය පසුවී විනාඩි හතළිස් තුනට යෙදෙන සුභ නැකතින් උතුරු දිසාමුඛව ආරම්භ වීමට අවශ්‍ය සියලුම කටයුතු මේ වන විට සම්පාදනය කරලා තියෙනවා. විශේෂයෙන් සඳහන් කළොත්, අද දිනයේ මහනුවර නගරය එකම හිස් ගොඩක් බවට පත්වෙලා තිබෙනවා. අවසන් මහා පෙරහැර දැක බලාගැනීම සඳහා පැමිණි ජනතාවගෙන් පිරී ඉතිරී ගොස් තිබෙනවා. පෙරහැර ශ්‍රී දළදා මාලිගාව අසලින් සිව්මහා දේවාල පෙරහැරද කැටුව වැව්පාර, දළදා වීථිය, යටිනුවර වීථිය, කන්දේ වීථිය, ඩී. එස්. සේනානායක වීථිය ඔස්සේ රජ වීථියෙන් ඉහළට විත් ගෙවැදීම තමයි සිද්ධ වෙන්නේ. අද තියෙන තවත් විශේෂත්වයක් තමයි, අද මහනුවර නගරය සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි නගරය වටා තමයි මේ පෙරහැර අද වීථි සංචාරය කරන්නේ. මේ වන විට දැඩි ආරක්ෂක කටයුතු ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන් නගරයට පැමිණෙන සෑම පුද්ගලයෙක්ම දැඩි පරීක්ෂාවකට, සෝදිසියකට ලක් වෙනවා. නගරයට පිවිසෙන සෑම මාර්ගයක් අසලම ආරක්ෂක කටයුතු ඒ ආකාරයෙන් සිද්ධ වෙනවා. විශේෂ කාර්ය බලකාය, යුද්ධ හමුදාව, ගුවන් හමුදාව, ඒ වගේම නාවික හමුදාවත් මේ ආරක්ෂක කටයුතු සඳහා පොලිසියට සහාය දක්වන ආකාරයක් දකින්නට ලැබෙනවා. ඊයේ දිනයේ යම් විශාල ආකාරයකින් වැසිබර කාලගුණයක් මහනුවරට තිබුණත්, මේ වන විට ඉතාමත් පැහැබර කාලගුණයක් තමයි දකින්නට ලැබෙන්නේ.
හෙට දින ගැටඹේ තොටේදී පැවැත්වෙන දියකැපීමේ මංගල්‍යයෙන් සහ දේවදානයෙන් පසුව මෙවර ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය නිල වශයෙන් නිමා වීමට නියමිතයි.
මේ අතර සෑම පුර පසළොස්වක පොහොය දිනකම නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන ශ්වේත පූජා සජීවී වැඩසටහන අද දවස පුරා පැවැත්වෙන්නේ කැස්බෑව, විජයසුන්දරාරාම විහාරස්ථානය හෙවත් නන්න්දන මහා පිරිවෙන් පින් බිමේදීයි.




