ගෙවීම පැහැර හැර තිබෙන හිඟ වැට් බදු මුදල් නියමිත පරිදි ගෙවා අවසන් කරන්නැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඩබ්ලිව් එම් මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂවරුන්ට නියෝග කළා.
ඒ, අදාල බදු මුදල් ගෙවීම සඳහා සහනයක් ලබා දෙන ලෙස එම සමාගම කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින්.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්චි මහතා මෙම නියෝගය කළේ 2016 හා 2017 යන වර්ෂවලට අදාළව ඩබ්ලිව් එම් මෙන්ඩිස් සහ සමාගම නොගෙවා පැහැර හැර ඇතැයි සඳහන් රුපියල් මිලියන 996 ක බදු මුදලක් අයකර ගැනීම සඳහා දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් පැවරූ නඩුව කැඳ වූ අවස්ථාවේදීයි.
මෙම නඩුකරය කැඳවූ අවස්ථාවේදී අදාල සමාගමේ අධ්යක්ෂවරයකු වන විත්තිකාර අර්ජුන් ඇලෝසියස් ද අධිකරණයේ පෙනී සිටියා.
විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ සිය සේවා දායකයාගේ සමාගමට අයත් මත්පැන් නිෂ්පාදන බලපත්‍ර සුරාබදු දෙපාර්තමේන්තු මගින් අත්හිටුවා ඇති බවයි.
එමෙන්ම මත්පැන් නිෂ්පාදනාගාර වෙන්දේසි කිරීමට බැංකු සූදානමින් සිටින බවත් ඔහු පැවසුවා.
එම නිසා හිඟ බදු වාරික ගෙවීම සඳහා මූල්‍ය දුෂ්කරතා පවතින බවයි ඔහු පෙන්වා දුන්නේ.
එම නිසා දැනට ගෙවීමට නියම කර තිබෙන බදු වාරික සංශෝධනය කර ගෙවීමට අවසර දෙන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
එම අවස්ථාවේදී දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාල සමාගම විසින් ගෙවීම පැහැර හල බදු අයකර ගැනීම සඳහා එහි අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින්ට එරෙහිව නඩු පහක් ගොනුකර තිබෙන බව පෙන්වා දුන්නා.
එක් නඩුවක හිඟ බදු මුදල් ගෙවීම පැහැර හැරීම නිසා අදාල සමාගමේ අධ්‍යක්ෂකවරුන්ට අධිකරණය මගින් සිර දඬුවම් නියම කළ බවත් නීතිඥවරයා සඳහන් කළා.
ඒ අනුව දැනට නියම කර තිබෙන පරිදි බදු වාරික ගෙවන ලෙස විත්තිකරුවන්ට නියෝග නිකුත් කරන ලෙසයි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා විත්තිකාර සමාගම විසින් බදු ගෙවිය යුතු කාලය දැනටමත් ඉක්මවා ගොස් තිබෙන නිසා අදාල බදු මුදල් නියම කර තිබෙන පරිදි ගෙවීමට පියවර ගන්නා ලෙස නියෝග කළා.
මෙම කටයුතුවල ප්‍රගතිය මැයි මස 25 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කෙරුණා.




