රුපියල් තිස් හත් කෝටි හැත්තෑ ලක්ෂයක් වටිනා ” හෂීෂ්” මත්ද්‍රව්‍ය තොගයක් දිවයිනට රැගෙන ආ විදේශීය සරසවි සිසුවෙකු කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, එම හෂීෂ් මත්ද්‍රව්‍ය තොගය විශේෂ ගුවන් මගීන් මුදල් ගෙවා පහසුකම් සළසා ගන්නා ” ගෝල්ඩි රූට් ” මගී පර්යන්තය ඔස්සේ ඔහු රැගෙන යමින් සිටියදීයි.
කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පවසන්නේ මෙතරම් විශාල වටිනාකමක් සහිත ” හෂීෂ්” මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගත් පළමු අවස්ථාව මෙය වන බවයි.
ඇමෙරිකානු ඩොලර් 206 ක් වැනි මුදලක් ගෙවා , ‘ගෝල්ඩි රූට් ‘ විශේෂ ගුවන් මගී පර්යන්තය භාවිතා කරමින් මෙරට තුළට මත්ද්‍රව්‍ය තොගයක් පළමු වරට රැගෙන ආ අවස්ථාවද මෙය වන බවයි රේගු නිලධාරීන් පැවසුවේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ 23 හැවිරිදි වියේ පසුවන ඩොමිනිකානු ජනරජයේ පුරවැසිභාවය හිමි එරට සරසවියක ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක්.
ඔහු මෙම විශේෂ ගුවන් මගී පර්යන්ත පහසුකම ලබා ගෙන , රේගු නිලධාරීන් මග හැර , ” හෂීෂ්” මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට සැළසුම් කර තිබෙනවා.
කෙසේවෙතත් ඔහුගේ ගමන් මලු ද , ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමකට ලක් කිරීම හේතුවෙන් මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබෙනවා.
සැකකාර සරසවි සිසුවා එම ” හෂීෂ්” මත්ද්‍රව්‍ය තොගය කැනඩාවෙන් ලබා ගෙන , ඩුබායි වෙත පැමිණ , එතැන් සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බවයි රේගු නිලධාරීන් පැවසුවේ.
ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 02 ක් තුළ කිලෝ 37යි ග්‍රෑම් 639 ක් බරැති , මෙම ” හෂීෂ්” මත්ද්‍රව්‍ය තොගය , පැකට් 146 ක් තුළ අසුරා තිබියදී සොයාගෙන තිබෙනවා.
සැකකාර විදෙස් සරසවි සිසුවා වැඩිදුර විමර්ශන කටයුතු සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ කටුනායක ගුවන් තොටුපොළ ඒකකය වෙත භාරදුන් බවද රේගු නිලධාරීන් වැඩිදුරටත් පැවසුවා.




