දිවයිනට පැමිණි සමාජවාදී වියට්නාම් ජනරජයේ ජනාධිපති ටෝ ලාම් මහතා මෙරට පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කරමින් විශේෂ කතාවක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.
පෙරවරු 11.05 ට පාර්ලිමේන්තුවට පැමිණෙන වියට්නාම් ජනාධිපතිවරයාව පිළිගනු ලබන්නේ, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සහ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය විසින්.
ඉන් අනතුරුව වියට්නාම් ජනාධිපතිවරයා සහ කථානායකවරයා අතර කෙටි හමුවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළා.
මේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා - වියට්නාම් මිත්‍රත්ව සංගමයේ සභාපති අමාත්‍ය දම්මික පටබැඳි මහතා සහ පාර්ලිමේන්තුවේ මහලේකම්වරිය සහභාගි විමට නියමිතයි.
මෙහිදී වියට්නාම් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ අමුත්තන් සඳහා වන විශේෂ පුස්තකයෙහි සිය සටහන තැබීමට ද නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
අනතුරුව සභාගර්භයට පිවිසෙන වියට්නාම් ජනාධිපතිවරයා කථානායකවරයාගේ ආසනය සමීපයේ පනවා ඇති විශේෂ ආසනයේ අසුන්ගෙන පෙරවරු 11.40ට පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කරමින් සිය විශේෂ කතාව සිදු කරනු ඇති.
ඒ අනුව 2015 වසරෙන් පසු රාජ්‍ය නායකයෙකු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කරන පළමු අවස්ථාව ලෙස මෙය සැළකෙන බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.
මෙරට දෙදින නිල සංචාරයක් සදහා වියට්නාම් ජනාධිපතිවරයා සමග තවත් 209 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් ඊයේ රාත්‍රි දිවයිනට පැමිණි බවයි නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපොල වාර්තාකරු පැවසුවේ.
වියට්නාම් ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස ඉන්දියාවේ මුම්බායි නුවර සිට වියට්නාම් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොල වෙත පැමිණ තිබෙනවා.
ඔහු ඇතුළු පිරිස පිළිගැනීම සදහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ අතිවිශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.











