ජුනි මස අග හෝ අගෝස්තු මස සිදු කිරීමට යෝජනාව වූ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය අවධානමකට ලක්ව තිබෙනවා.

ශ්‍රී ලංකාව සමඟ පන්දුවාර විස්සයි විස්ස තරග තුනක් සහ එක්දින තරග තුනක් සඳහායි ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම මෙම සංචාරය සිදු කිරීමට යෝජනා වී ඇත්තේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විසුරුවා හරින ලද පැවති පරිපාලනය විසින් මීට අදාළ මූලික සාකච්ඡා සිදු කර තිබුණා.

එහෙත් ඒ පිළිබඳ අවශ්‍ය පසු විපරම් නියමිත පරිදි සිදු වී නොමැති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සිදුකිරීමට යෝජනා වූ සංචාරය වෙනුවට වෙනත් රටක තරග සංචාරයකට එක්වීමට ඉන්දියාව සූදානම් වන බවද විශ්වාසදායක ආරංචි කියා සිටියා.

යෝජිත ඉන්දීය සංචාරය සඳහා ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 12ක්ද ලැබීමට නියමිතව තිබුණු බවයි වාර්තා වන්නේ.

ඒ අනුව සංචාරය සිදු නොවුනහොත් මෙම ආදායමද ශ්‍රී ලංකාවට අහිමිවනවා.

මේ අතර මෙම මාසය තුළ නිලවරණයක් පවත්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව නිලමණ්ඩලයක් පත්කර නොගතහොත් අන්තර්ජාතික ක්‍රිකට් ආයතනයෙන් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත ඇමරිකානු ඩොලර් මිලියන දහයක්ද අහිමි වනු ඇති බවයි පැවසෙන්නේ.

ඉකුත්දා ශ්‍රී ලංකාවේ සංචාරය කළ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් පරිපාලනය සිදු කරන ක්‍රිකට් පරිවර්තන කමිටුව වෙත ඒ බව දැනුම් දී ඇතැයිද විශ්වාසදායක ආරංචි කියා සිටියා.