ඉරාන විදේශ අමාත්‍ය සෙයිද් අබ්බාස් අරග්චි සහ විදේශ අමාත්‍ය විජිත හේරත් අතර දුරකතන සංවාදයක් පවත්වා තිබෙනවා.

ඉරාන විදේශ අමාත්‍යංශ නිළ වෙබ් අඩවිය වාර්තාකලේ මෙම දුරකථන සංවාදය අතරතුර, ඉරාන විදේශ අමාත්‍යවරයා විසින් IRIS Dena නෞකාවේ නාවිකයින් බේරා ගැනීමේ මෙහෙයුමේදී ශ්‍රී ලංකා රජය දැරූ උත්සාහයන් අගය කළ බවයි.

එමෙනම් IRIS Dena නෞකාවේ කාර්ය මණ්ඩලයේ සහ අනෙකුත් ඉරාන නාවික නිලධාරීන්ගේ මළ සිරුරු ඉරානයට ආපසු භාරදීමට සහාය වීම පිළිබඳවද කෘතඥතාව පළ කර තිබෙනවා.

අමෙරිකා එක්සත් ජනපදය විසින් IRIS Dena නෞකාවට එල්ල කළ ප්‍රහාරය පෙර නොවූ විරූ යුධ අපරාධයක් ලෙසත් මෙය ජාත්‍යන්තර මානුෂීය නීතියේ මූලික නීති උල්ලංඝනය කිරීමක්දවන බවයි ඉරාන විදේශ අමාත්‍යවරයා එහිදී පෙන්වා දී ඇත්තේ.

මෙම ප්‍රහාරය මගින් 1949 ජිනීවා සම්මුතීන් ද උල්ලංඝනය කර තිබෙනවා.

මෙම අපරාධය ඉරානය කිසිදා අමතක නොකරන බවත්, අපරාධකරුවන් සහ වගකිව යුතු පිරිස වගකිව යුත්තන් බවට සහතික කර ඔවුන් නීතිය හමුවට පමුණුවා ගැනීමට සියලු නීතිමය සහ දේශපාලනික ක්‍රම භාවිතා කරන බවත් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි මෙහිදි අවධාරණය කළ බවයි ඉරාන විදේශ අමාත්‍යංශ වෙබ් අඩවිය වාර්තා කළේ.

ශ්‍රීලංකාව හා ඉරානය අතර ද්විපාර්ශ්වික සබඳතා සහ කලාපීය වර්ධනයන් පිළිබඳව ද මෙහිදී අවධානය යොමුව තිබෙනවා.

ඊට අමතරව ඉරාන විදේශ අමාත්‍යවරයා ඉන්දීය විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර් වෙතද දුරකතන ඇමතුමක් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.