ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ අම්බලන්ගොඩ ප්‍රදේශය ආශ්‍රිතව අද පස්වරු දෙකේ සිට විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.

ඒ, අම්බලන්ගොඩ, ඌරවත්ත ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික පෙරහර විථි සංචාරය කිරීම හේතුවෙන්.

එම පෙරහර ඌරවත්ත ගංගාරාම මංසන්ධියෙන් ගාලු පාර ඔස්සේ ගමන් කර හිරේවත්ත බුදු පිළිමය අසලින් මහ වීදිය ඔස්සේ අම්බලන්ගොඩ වටරවුම දක්වා විථි සංචාරය කෙරෙනවා.

ඉන් අනතුරුව අම්බලන්ගොඩ වටරවුමෙන් නැවත ගාලු පාර ඔස්සේ ඌරවත්ත ගංගාරාම මංසන්ධිය දක්වා පෙරහැර විථි සංචාරය කරන බවයි පොලීසිය පැවසුවේ.

ඒ අනුව පෙරහැර විථි සංචාරය කෙරෙන කාලය තුළ ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගය භාවිත කරන ජනතාව සහ රියදුරන් විකල්ප මාර්ග භාවිත කළ යුතු වනවා.

ඒ අනුව කොළඹ දෙස සිට ගාල්ල දෙසට ගමන් ගන්නා වාහන සංඝරාජ විහාරය අසලින් කැපුඇල හන්දිය හරහා වතුගෙදර හන්දිය පසුකර පොල්වත්ත හන්දිය හරහා පොල්ලැව්ව හන්දියෙන් බටපොල හරහා කහව මංසන්දිය දෙසින් ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයට පිවිසිය යුතු බවයි පොලීසිය පැවසුවේ.

එමෙන්ම ගාල්ල දෙස සිට කොළඹ දෙසට ගමන් ගන්නා වාහනද කහව මංසන්දියෙන් එම මාර්ග භාවිත කර සංඝරාජ විහාරය අසලට ධාවනය කළ යුතු බවද පොලිසිය වැඩිදුරටත් පැවසුවා.