ලබන ජනවාරි මාසයේ ජල ගාස්තු සංශෝධනයක් සිදු විය හැකි බවට ජල සම්පාදන අමාත්ය සුසිල් රණසිංහ මහතා ඉගි පල කරනවා.
කෙසේ වෙතත් එසේ ජල ගාස්තු සංශෝධනය වුවද විශාල අගයකින් එම සංශෝධනය සිදු නොවනු ඇති බවයි.
"ජල බිල සංශෝධනය කරන එක, ජල බිල සමාලෝචනය කරන එක අවුරුද්දකට දෙවතාවක් තමයි සිද්ධ වෙන්නේ. ජල බිල ගණන් හැදීම සඳහා වෙච්ච සමීකරණයක් තිබෙනවා. අපි ඒ නිවැරදි විද්යාත්මක සමීකරණයක් හදලා තියෙනවා. ඒ අනුව අවුරුද්දට දෙවතාවක් සිද්ධ වෙන්නේ. නැවත 2025 ජනවාරි මාසේ තමයි සමාලෝචනය වෙනන්නේ. ජල පිරිපහදුව සඳහා වෙච්ච පිරිවැය වැඩි වෙලා තියෙනවද, ඒ පිරිවැය මත ජල ගාස්තු සංශෝධනය විය යුතුද නැද්ද කියන එක ලබන ජනවාරි තමයි සිද්ධ වෙන්නේ. ජනවාරි වෙනකන් ජල බිලේ, ජල ගාස්තුවේ කිසිම වෙනසක් නැහැ. අපි බලාපොරොත්තු වෙනවා ලබන ජනවාරිත් ජනතාවට මේ තිබෙන මිලෙන්ම, මේ තියෙන ජල ගාස්තු වලින්ම ඉස්සරහට යන්න පුළුවන් වෙයි. විශාල සංශෝධනයක් වෙන්නේ නැති වෙයි කියන අපේක්ෂාවෙන් තමයි ඉන්නේ. නමුත් කෙසේ වෙතත් ජනවාරි මාසයේ තියෙන තත්ත්වයන් එක්ක ඒ සමාලෝචනය සිද්ධ කරන්න ඕනේ අපි."
අමාත්යවරයා සදහන් කළේ ඉදිරියේදී ජනතාවට සහන දීමේ අරමුණින් ඇතැම් වෙළද ගිවිසුම් සංශෝධනය කල හැකි දැයි අවධානය යොමුකල යුතු බවයි.
"සමහර තියෙන ගිවිසුම්, සමහර වෙළඳපොළ අත්පත් කර ගැනීමට ලබා දීලා තියෙන ඉඩ නිසා මේවා වෙනස් කරගන්න බැරි තත්ත්වයන් සමහර ඒවා උදාවෙලා තියෙනවා. ඒ නිසා ජනතාවටත් රජයටත් අවාසිදායක තත්ත්වයන්ට පත්වෙන්න වෙලා තියෙනවා. නමුත් අපිට දැන්, අපිට මේ වෙලාවේ ඒ සඳහා කරන්න වෙලා තියෙන්නේ මිල දරාගන්න බැරි පාරිභෝගිකයෝ යම් කණ්ඩායමක් ඉන්නවා ආදායම් අඩු, ඔවුන්ට සහන සැලසීම තමයි රජයේ විදියට මේ වෙලාවේ ගන්න පුළුවන් පියවර. ඒ නිසා අපි ඉන්ධන මිල ඉහළ යනකොට අපි සහනාධාරයක් දෙනවා දරගත හැකි මිලකට ඉන්ධන ලබාගන්න. ඒ වගේම තමයි අත්යවශ්ය ද්රව්ය ඉහළ යන නිසා ඒ සඳහා ඒ ජනතාවට සහනාධාර ලබාදෙන්න අපි කටයුතු කරමින් තියෙනවා විවිධ මට්ටමේ. ඒ විදියට තමයි මේ වෙලාවේ මේක කළමනාකරණය කරගන්න සිද්ධ වෙන්නේ. නමුත් දීර්ඝකාලීනව ගත්තහම රජයටත් ජනතාවටත් අවාසි සහගත ගිවිසුම් සහ වෙළඳපොළ අත්පත් කරගැනීමට ඉඩ දීලා තියෙන ඒවා නවත්තන්න ඕනේ, වෙනස් කරන්න ඕනේ, ඒකෙන් තමයි මේකට ස්ථිර විසඳුම ලැබෙන්නේ."




