කළුතර, වෙට්ටුමකඩ ප්‍රදේශයේදී ඉකුත්දා වෙඩි තබා කෙරුණු මනුෂ්‍ය ඝාතනයේ වෙඩික්කරු බව කියන තැනැත්තා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාලිගාවත්ත ප්‍රදේශයේ ඥාති නිවසක සැඟව සිටියදීයි ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙම පුද්ගලයා කලක් යුද හමුදාවේ සේවය කළ අයෙක්.

44 වන වියේ පසුවන්නෙකු වන ඔහු පයාගල, මැහිමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වනවා.

ඇතැම් අය අතර ඔහු ප්‍රකටව සිටින්නේ බෝංචියා යන නමින්.

අත්අඩංගුවට ගන්න අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍යයද සොයාගෙන තිබෙනවා.

පොලිසිය කළ ප්‍රශ්න කිරීම්වලදී බෝංචියා පවසා ඇත්තේ සංවිධානාත්මක අපරාධ කල්ලියක ප්‍රධානියකු බව කියන බෝම්බුවල නවීන් නැමැත්තාට තමන් රුපියල් ලක්ෂ තුන හමාරක ණයක් ගෙවීමට තිබුණු බවයි.

ඊට හිලව්වීම සඳහා බෝම්බුවල නවීන්ගේ මෙහෙයවීම මත කළුතර වෙට්ටුමකඩ ප්‍රදේශයේදී වෙඩි තැබීම සිදුකළ බවද ඔහු පවසා තිබෙනවා.

වෙඩිතැබීම සිදුකිරීමෙන් පසු බෝම්බුවල නවීන් තමන්ට රුපියල් 25,000ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ද ලබාදුන් බවයි පොලිසිය කල ප්‍රශ්න කිරීම්වලදී බෝංචියා වැඩිදුරටත් පවසා ඇත්තේ.

ප්‍රශ්නගත වෙඩිතැබීමෙන් මිය ගියේ 43 වන වියේ පසුවූ පකිර් මොහොමඩ් මොහොමත් සාපික් නැමැත්තෙක්.

ව්‍යාපාරිකයකු වන ඔහු පොලිසියට ඔත්තු ලබා දුන් බවට වන සැකයක් මත ඔහු ඉලක්ක කර වෙඩි තැබීම සිදු කෙරුණු බව මූලික විමර්ශනවලදී කියවුනා.

ඉකුත් මැයි මස 28 වනදා පල්ලියට ගොස් ආගමික වතාවත් ඉටුකර යතුරුපැදියෙන් නැවත නිවස බලා යමින් සිටියදී ඔහු වෙඩි තැබීමට ඉලක්ක වුණේ.

මෝටර් රථයකින් පැමිණි පිරිසක් මගහරස් කර වෙඩිතැබීම සිදුකළා.

මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් තවත් සැකකරුවන් තුන්දෙනෙකු සහ සැකකාරියක මීට පෙර අත්අඩංගුවට ගෙනුණු අතර අපරාධයේ සැලසුම්කරු බව කියන තැනැත්තාද ඒ අතර සිටින බවයි පැවසෙන්නේ.

බෝම්බුවල නවීන් නමැත්තාගේ මෙහෙයවීම මත අපරාධය සැලසුම් කර ඇතැයි කියවෙන්නේ මොහොමඩී ඉම්රන් නැමැත්තෙක්.

බෝම්බුවල නවීන් විසින් වෙඩික්කරු ඔහුට සම්බන්ධ කර දී ගිනි අවියද ලබා දී ඇති බව ට තොරතුරු තිබෙනවා.

මොහොමඩ් ඉම්රා නමැත්තා අත්අඩංගුවට ගැනුනේ ඉකුත් පළමු වනදායි.

කළුතර නයිට් ක්ලබ් මාවතේදී එලෙස ඔහු අත්අඩංගුවට ගැනුනා. මෙම පුද්ගලයා කළුතර වික්‍රමසිංහ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අත්අඩංගුවට ගෙන සිටින සෙසු සැකකරුවන් අතර එකම පවුලේ සහෝදරයා සහ සහෝදරියකද සිටිනවා.

ඔවුන් අවුරුදු විසි හතර සහ විසි හත යන වයස්වල පසු වන අයයි.

මීට අමතරව ඇහැලියගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකුද මෙම අපරාධය සඳහා ආධාර අනුබල ලබාදුන් බවට සැකපිට අත්අඩංගුවට ගැනුනා.

අපරාධය සඳහා වෙඩික්කරු පැමිණි මෝටර් රථය පදවාගෙන පැමිණ ඇතැයි කියවෙන්නේ අපරාධය සැලසුම්කරු ද බව කියන ඉම්රාන් විසින්.

වෙඩික්කරු පැමිණි බව කියන මෙම මෝටර් රථය ද මේ වන විට සොයාගෙන තිබෙනවා.

අපරාධය සිදු වූ දිනම තෙබුවන තැපැල් කාර්යාලය අසල විකල්ප මාර්ගයේ දමා ගොස් තිබියදී එය සොයා ගැනුනේ.

මෙම අපරාධය සඳහා යොදාගත් බව කියන කුඩා වෑන් රථයක්ද එදිනම සොයා ගැනුනා.

ඒ, දොඩංගොඩ ප්‍රදේශයේදී. කුඩා වෑන් රථයෙන් පැමිණ පසුව වෙඩික්කරු මෝටර් රථයට මාරු වී ඇති බවයි කියවුණේ.

පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලු‍ගලට ලැබුණු තොරතුරකට අනුව විමර්ශන ඉදිරියට සිදු කෙරෙනවා.