සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් සහ කළමනාකරණ කමිටුවෙන් ඉල්ලා අස්වීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා තීරණය කර තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අතුරු පාලක කමිටුවේ සභාපතිවරයා ලෙස ඔහු පත්වීම හේතුවෙන්.

ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සහ එහි කටයුතු විනිවිදභාවයකින් යුතුව පවත්වාගෙන යාම සඳහා ඉරාන් වික්‍රමරත්න මහතා මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

මේ අතර ඉරාන් වික්‍රමරත්න මහතාගේ එම ඉල්ලා අස්වීමේ තීරණය සමගි ජනබලවේගය විසින් පිළිගෙන තිබෙනවා.

කෙසේවෙතත් පක්ෂ ප්‍රතිපත්තිය අනුව පක්ෂ සාමාජිකත්වයෙන් ද ඉල්ලා අස්වන ලෙසටයි සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඉරාන් වික්‍රමරත්න මහතා වෙත ලිපියක් යොමුකරමින් දන්වා ඇත්තේ.

සෑම අවස්ථාවකදීම පක්ෂයේ ප්‍රතිපත්තිය වූයේ සියළුම ක්‍රීඩා සංගම් නිර්දේශපාලනය විය යුතු බවත්, එහි තනතුරු දේශපාලනයට සම්බන්ධ අය විසින් නොදැරිය යුතු බවත් එම ලිපියේ සඳහන්.

ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ නව සභාපති ලෙස සමගි ජන බලවේගය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පත් කෙරුණු අතර අතුරු පාලක කමිටුවේ සෙසු සාමාජිකන් ලෙස රොෂාන් මහානාම, කුමාර් සංගක්කාර, තුෂිර රදැල්ල, සිදත් වෙත්තමුනි, අවන්ති කොළඹගේ, ප්‍රකාශ් ෂාෆ්ටර්, උපුල් කුමාරප්පෙරුම හා දිනාල් පිලිප්ස් යන මහත්වරුන් පත්කිරීමටයි  පියවර ගනු ලැබුවේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පාලක කමිටුව නම් කර ඇත්තේ ක්‍රිකට් පරිවර්තනීය කමිටුව ලෙසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා ඇතුළු විධායක කමිටුව සිය ධුරවලින් ඉල්ලා අස්වීමෙන් අනතුරුව, එහි කටයුතු ඊයේ දිනයේ ක්‍රීඩා අමාත්‍යාංශය යටතට පවරා ගැණුනා.

ඒ අනුව නිලවරණයකින් නිලධාරී මණ්ඩලයක් පත්කරන තෙක්, ක්‍රිකට් ආයතනයේ සියලු තීන්දු තීරණ මින් ඉදිරියට ඉරාන් වික්‍රමරත්න ප්‍රමුඛ අතුරු පාලක කමිටුව විසින් සිදුකරනු ඇති බවයි ක්‍රීඩා ආරංචි මාර්ග සදහන් කළේ.