දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අද සිට ඉදිරි දින කිහිපයේදී අපේක්‍ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට විටින් විට වැසි ඇති විය හැකියි. සබරගමුව පළාතේත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම ඌව පළාතේත්, මුලතිව්, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක්ද කළා.