හැටන්, කොටගල නගරයේ විවාහ උත්සව ශාලාවකදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් වැලැක්වීමට ගිය දිඹුලපතන පොලිසියේ නිළධාරින් පිරිකට පහරදුන් සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ උත්සව ශාලාවේ බීමත්ව සිටි දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන ඇති බවට දිඹුලපතන පොලිස් ස්ථානය වෙත තොරතුරක් ලැබී තිබුණා.

ඒ අනුව එම ගැටුම සමතයකට පත් කිරිමට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට එහි සිටි පිරිසක් විසින් පහරදී තිබෙනවා.

එම පොලිස් නිළධාරින් බේරා ගැනීමට දිඹුල පතන පොලිසියේ ස්ථානාධිපතිවරයා සහ තවත් පොලිස් නිළධාරින් පිරිසක් එම ස්ථානයට පැමිණ ඇති අතර, එහිදී එම නිළධාරින්ටද පහර දී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

කෙසේවෙතත් පහරදීමට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු දැඩි පරිශ්‍රමයක් දරා දිඹුලපතන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම පහරදීමට සම්බන්ධ තවත් සැකකරුවන් තිදෙනෙකු ප්‍රදේශවාසීන් විසින් ද අල්ලාගෛන පොලිස් ස්ථානය වෙත භාරදුන් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

එම ගැටුමේදී තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ තවත් කිහිප දෙනෙකු ප්‍රතිකාර සදහා කොටගල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

අදාළ පහරදීමේ සිද්ධියත් සමග කොටගල නගරයේ දැඩි රථවාහන තදබදයක් ද හටගෙන තිබෙනවා.

එමෙන්ම කොටගල නගරයේ ආරක්ෂාව සදහා තලවකැලේ, ලිදුල සහ නානුඔය යන පොලිස් ස්ථාන මගින් කොටගල නගරයට අමතර පොලිස් බලඇණි කැදවූ බවද නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවා.