අද දිනට යෙදෙන ජාත්‍යන්ර කම්කරු දිනය සැමරීම සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති විසින් සංවිධානය කරනු ලබන මැයි දින පෙළපාළි සහ රැළි මෙවර කොළඹ නගරයට පමණක් සීමා නොවී දිවයිනේ ප්‍රධාන නගර රැසක පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

ඒ අනුව අනුරාධපුරය, කුරුණෑගල සහ මහනුවර, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර, කෑගල්ල, ගාල්ල, මාතර සහ කළුතර යන නගරවල පෙළපාළි සහ රැළි පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

පොලීසිය පැවසුවේ මෙම නගරවල පැවැත්වෙන මැයි දින සැමරුම් සඳහා අවශ්‍ය උපරිම ආරක්ෂාව සැපයීමට පියවර ගෙන ඇති බවයි.

මෙවර කම්කරු දිනය වෙනුවෙන් දේශපාලන පක්ෂ රැසක් සිය ශක්තිය විදහා දැක්වීමට බලාපොරොත්තු වන බැවින්, නගර ආශ්‍රිතව දැඩි පොලිස් ආරක්ෂාවක් යෙදවීමට නියමිත බවයි පොලීසිය පැවසුවේ.

මැයි දිනයේ කොළඹ නගරය තුළ පැවැත්වීමට නියමිත මැයි දින පෙළපාළි සහ රැළි හේතුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව ද පොලිසිය නිවේදනය කරනවා.

ජනතාවගේ පහසුව සහ ආරක්ෂාව වෙනුවෙන් ප්‍රධාන මාර්ග කිහිපයක ගමනාගමනය සීමා කිරීමට සහ විකල්ප මාර්ග හඳුන්වා දීමටයි පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව ජාතික ජන බලවේගයේ රැළියක් මහරගම තරුණ සේවා සභා පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි.

සමගි ජන බලවේගයේ මැයි දින රැළිය මාලිගාවත්ත පී.ඩී සිරිසේන ක්‍රීඩාංගණයේදී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැළියයි.

සර්වජන බලයේ මැයි රැළිය බොරැල්ල පාර්ක් ඇවනිව් හිදී පැවැත්වීමට නියමිතයි. ශ්‍

රී ලංකා පොදුජන පෙරමුණ මෙවර මැයි දින සැමරුමක් සිදු කරන්නේ නැහැ.

ඒ වෙනුවට ඔවුන් අදට යෙදෙන පොහොය නිමිත්තෙන් ආගමික වැඩසටහන්වල නිරත වීමටයි නියමිතව ඇත්තේ.

මැයි දින පෙළපාළි හේතුවෙන් පෙරවරු 10.00 සිට පස්වරු 7.00 දක්වා කාලය තුළ කොළඹ නගරයට ඇතුළු වන වාහන හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි පොලිසිය ඉල්ලා සිටින්නේ.

නගරයට පැමිණෙන ජනතාව සඳහා විශේෂ වාහන නැවැත්වීමේ ස්ථාන වෙන් කර ඇති අතර බස් රථ සහ අනෙකුත් වාහන සඳහා පොලිස් නිලධාරීන් විසින් ලබාදෙන උපදෙස් පිළිපදින ලෙසයි දන්වා ඇත්තේ.