කොළඹ පවතින රථවාහන තදබදය අවම කරමින් වඩාත් පහසු සහ ආරක්ෂිත පොදු ප්‍රවාහන සේවාවක් සැපයීමේ අරමුණින්, බස්නාහිර පළාතේ මාර්ග 07ක් ඔස්සේ අලුතින් හඳුන්වා දුන් බස් රථ 104ක් ධාවනයට එක් කිරීමට මෙට්‍රෝ බස් ආයතනය සූදානම් වනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම නව බස් රථ සේවාව ආරම්භ කිරීමට නියමිත අතර, හෙට (29) සිට එම මෙහෙයුම් ආරම්භ කිරීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බවයි මෙට්‍රෝ බස් සමගම සඳහන් කළේ.

කොළඹ කේන්ද්‍ර කරගත් මාර්ග 07ක් ඔස්සේ මෙම නව බස් රථ ධාවනය කෙරෙන අතර, මගීන්ට නියමිත මාර්ග සහ වේලාවන් අනුව තම ගමනාන්ත වෙත ළඟා වීමට හැකි වන පරිදි මෙම සේවාව සැලසුම් කර තිබෙනවා.

දෛනික ගමනාගමනය සඳහා පොදු ප්‍රවාහන සේවාවන් භාවිතා කිරීමට මහජනතාව දිරිමත් කිරීම මගින් කොළඹ පවතින රථවාහන තදබදයට විසඳුම් සෙවීමට මෙම නව බස් සේවාව උපකාරී වනු ඇති.