'' කුෂ්'' මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් , ඒවා ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ''හරිත මාවත '' ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් සිදුකල වටලිමකදියි,

සැකකරු කොළඹ ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි ජායාරූප ශිල්පියෙක් බවට අනාවරණ වී තිබෙනවා.

ඔහු අද අලුයම 01.25 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි එයාර් ඒෂියා ගුවන් සේවයේ එෆ්.ඩී.- 140 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුනා.

එහිදී ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලේ , වියළි පළතුරු අඩංගු පැකට් තුළ , රුපියල් දෙකෝටි පනස් ලක්ෂ පනස් දහසක් වටිනා  ” කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 02 ග්‍රෑම් 505 ක ප්‍රමාණය සූක්ෂම ලෙස අසුරා රැගෙනවිත් තිබෙනවා.

මේ අතර රුපියල් තුන් කෝටි අසූහය ලක්ෂ හැත්තෑ දහසක් වටිනා විදේශීය දුම්වැටි තොගයක් සහ විද්‍යුත් දුම්වැටි තොගයක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දමා ගොස් තිබියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

නෙත් නිව්ස් ගුවන්තොටුපල වාර්තාකරු පැවසුවේ කොළඹ ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි ව්‍යාපාරිකයෙකු , සිය ගමන් මලු තුළ විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සගවා ගෙන , කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති '' හරිත මාවත '' ඔස්සේ පිට වී යාමට තැත් කර ඇති බවයි.

එම අවස්ථාවේදී තොටුපොළ රේගු නිලධාරීන් විසින් සැකකරු අත් අඩංගුවට ගැනීමත් සමග ඔහු සමග පැමිණි අනෙක් ගුවන් මගීන් පිරිස තම ගමන් මලු 14 ක් , මෙලෙස අතහැර දමා පළා ගොස් තිබෙනවා.

මොවුන් අද අලුයම 12.55 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 654 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුනා.

එහිදී ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු 16 තුළ තිබී විදේශීය නිෂ්පාදිත දුම්වැටි 229,800 ක් අඩංගු දුම්වැටි කාටූන් 1,149 ක් සහ විද්‍යුත් දුම්වැටි 113 ක් සොයාගෙන තිබෙවනවා.