නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුරෙන් පසු සිදුවු ඛේදජනක ජීවිත හානි පිළිබඳව තමන් අතිශයින් කනගාටුවට පත් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

X පණිවුඩයක් නිකුත් කරමින් නේපාල ජනතාව වෙත සිය බලවත් ශෝකය පලකරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව ගලවා ගැනීමේ සහ මුදාගැනීමේ මෙහෙයුම් සඳහා නේපාලයට සහායවීමට සූදානමින් සිටින බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

මාස 10කට පෙර සුළි කුණාටුවකින් තවමත් ගොඩඑන ජාතියක් ලෙස අප නේපාල ජනතාව සමඟ ශෝකය බෙදාගැනිමට සූදානම් බව සිය X ගිණුම මඟින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

මේ අතර අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ද නේපාල ජනතාව වෙත සිය ශෝකය පළ කළ තිබෙනවා.

මෙම අභියෝගාත්මක සහ දුෂ්කර අවස්ථාවේදී නේපාල ජනතාව සමඟ පූර්ණ සහයෝගීතාවයෙන් පසුවන බවයි අග්‍රාමාත්‍යවරිය X පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද විපතට පත් නේපාල ජනතාව වෙනුවෙන් ශෝක පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

මේ මොහොතේ ශ්‍රී ලංකාව නේපාල රජය සහ ජනතාව සමඟ එක්ව සිටින බවද විපක්ෂ නායකවරයා නිකුත් කළ ශෝක පණිවිඩයේ සදහන්.