ගාල්ල, දංගෙදර ඩික්සන් හන්දිය ප්‍රදේශයේ අද උදෑසන සිදුවූ වෙඩි තැබීමෙන් ජිවිතක්‍ෂයට පත්ව ඇත්තේ අහංගම, වැල්හේන්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 47 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙකු බවට අනාවරණ වී තිබෙනවා.

රතු මාමා ලෙසද හැදින්වෙන ඔහු ගාල්ල, දංගෙදර ඩික්සන් හන්දිය ප්‍රදේශයේ පිහිටි කුලි නිවසක පදිංචිව සිටි ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

අද උදැසන හතයි විස්සට පමණ ඔහුට වෙඩි තබා ඇත්තේ ඩික්සන් හන්දිය ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළදසැලක් අසල රැදි සිටියදීයි.

ඒ, රතු පැහැති කැබ් රථයකින් පැමිණි පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා පැවසුවේ.

එහිදී වෙඩි වැදීමෙන් තුවාල ලැබූ එම පුද්ගලයා කරාපිටිය ශික්‍ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිස් ස්ථානය මගින් විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර අම්බලන්තොට, මාමඩල දකුණ, බෝකුටුයාය ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තවත් පුද්ගලයෙකුට බරපතල තුවාල සිදුකර තිබෙනවා.

එලෙස ඝාතනයට ලක්වී ඇත්තේ වයස අවුරුදු 34 ක් වූ තිදෙරු පියෙක් බවයි අම්බලන්තොට පොලිසිය පැවසුවේ.

තුවාල ලබා ඇත්තේ ඔහුගේ බිරිදගේ පියා වනවා.

ඔවුන්ගේ නිවසට සැකකරුවන් තිදෙනෙකු පැමිණ මෙම අපරාධය සිදුකර ඇති බවයි පොලීසිය පැවසුවේ.

ඝාතනයට පැමිණි සැකකරුවන් තිදෙනා රැගෙන ආ මෙරට නිෂ්පාදිත ගිනි අවියක්ද එම ස්ථානයේ දමා ගොස් තිබියදි සොයාගෙන තිබෙනවා.

ඝාතනයට ලක්වූ පුද්ගලයා පසුගිය වසරේ ජනවාරි මස 2 වනදා අම්බලන්තොට, ඇලේගොඩ බටහිර ප්‍රදේශයේ දී සිදුකරන ලද ත්‍රිත්ව ඝාතනයේ සැකකරුවෙකු වන අතර ඔහු ඒ සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිට පසුගිය මාර්තු 30 වනදා ඇප මත නිදහස්ව ඇති බවයි පොලීසිය පැවසුවේ.

එම ඝාතනයට පලි ගැනීමක් ලෙස මෙම ඝාතනය සිදුකර ඇති බවටයි පොලීසිය සැක කරන්නේ.