චමරි අතපත්තුගේ විශිෂ්ඨ පිතිහරඹය හේතුවෙන් 2026 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු තවදුරටත් රඳවා තබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.
ඒ, අයර්ලන්තයට එරෙහිව කඩුළු 9ක විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්කර ගනිමින්.
එංගලන්තයේ බි්රස්ටල්හිදී පැවති මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් අයර්ලන්ත කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 130ක් රැස් කළා.
අයර්ලන්ත ඉනිම ශක්තිමත් කළ නායිකා ගැබී ලුවිස් පන්දු 50කදී රැස් කල ලකුණු සංඛ්‍යාව 59ක්.
ලකුණු 131ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන් නායිකා චමරි අතපත්තු පළමු පන්දුවේ සිටම ආක්‍රමණය ආරම්භ කලේ තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම හතරේ පහරක් එල්ල කරමින්. පන්දු 29කදී සිය අර්ධ ශතකය සපුරා ගත් චමරි සිය ශතකය වාර්තා කලේ පන්දු 58කින්.
මෙම ශතකය ඇය විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියකදී ලබාගත් පළමු ශතකය වන අතර, ඇගේ ජාත්‍යන්තර විස්සයි විස්ස දිවියේ සිවුවැනි ශතකයයි.
ඒ අනුව පන්දුවාර 15යි පන්දු 3කදී එක් කඩු ලක් පමණක් දැවී ලකුණු 134ක් රැස්කර ගනිමින් මෙම තරගයේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ඒ වන විට චමරි අතපත්තු පන්දු 61කදී නොදැවී රැස්කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 106ක්. ශ්‍රී ලංකා ඉනිමේ මුළු ලකුණු සංඛ්‍යාවෙන් 79%ක්ම චමරිගේ පිත්තෙන් වාර්තා වීම විශේෂත්වයක්. චමරිගේ මෙම සුපිරි ඉනිම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම තවත් පන්දු 27ක් සහ කඩුලු 9ක් ඉතිරිව තිබියදී තරගයේ ජයග්‍රහණය තහවුරු කර ගත්තා.
ඒ සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමේ ශුද්ධ ලකුණු වේගය සෘණ එකකට වඩා අඩු අගයක් දක්වා ඉහළ නංවා ගැනීමට ද හැකි වුණා.
ඒ හේතුවෙන් මෙම තරගාවලියේ අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු තවදුරටත් රදවා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවී තිබෙනවා.
මෙම තරගාවලියේ පළමු වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන අවසන් තරගය අනිද්දා ස්කොට්ලන්තය සමඟ පැවැත්වීමට නියමිතයි.
අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු තබා ගැනීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගයද අනිවාර්යයෙන් ජය ගත යුතු අතර 2වන ඛාණ්ඩයේ අනෙකුත් තරගවල ප්‍රතිඵල සහ දළ ලකුණු වේගය මත එය තීරණය වනු ඇති.




