කොළඹ වරාය නගරයේ රැඳීසිටි චීන ජාතිකයින් තිදෙනෙකුට පහරදී ඉන් එක් චීන ජාතිකයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ චීන ජාතික සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය ඉල්ලා සිටිනවා.

අදාළ සිද්ධියට සම්බන්ධ චීන ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

පසුගිය ජූලි 23 වනදා සිදුවූ මෙම අපරාධය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරනු ලබන්නේ කොළඹ දිසා අපරාධ කොට්ඨාසයි.

එම කොට්ඨාසය මෙතෙක් සිදුකළ විමර්ශනවලදි අනාවරණ වී ඇත්තේ සැකකාර චීන ජාතිකයන් තිදෙනා මෙරට තුළ තවදුරටත් රැඳීසිටින බවයි.

සංචාරක වීසා මත මෙරටට පැමිණ ඇති ඔවුන්ගේ වලංගු වීසා කාලසිමාව අවසන්වී ඇති බවට ද පොලිස් විමර්ශනවලදි අනාවරණ වී තිබෙනවා.

ඔවුන් ගුවන් හෝ මුහුදු මාර්ගයෙන් නීත්‍යානුකූල නොවන ආකාරයෙන් මෙරටින් පිටවීමේ හැකියාවක් ඇති බැවින් මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය ඉල්ලා සිටිනවා.

එම සැකකරුවන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය ස්ථානාධිපතිවරයා වෙත 0718 591 735 යන ජංගම දුරකථනය අමතා දැනුම් දෙන ලෙසයි ඉල්ලා සිටියේ.

සැකකාර චීන ජාතිකයන් තිදෙනොගේ ඡායාරූප ද ඇතුළත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහත දැක්වෙයි.