යළි සිරදඩුවම් නියම වූ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වැලිකඩ බන්ධනාගාරයේ අයි වාට්ටුවේ රැඳවු බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

එහි උසස් නිලධාරියෙකු නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ තවත් රැඳවියන් 150කට ආසන්න පිරිසක් සමග උන්වහන්සේ එම වාට්ටුවේ රැඳවු බවයි.

ඒ අනුව උන්වහන්සේට විශේෂ පහසුකම් කිසිවක් ලබා දී නොමැති බවද එම උසස් නිලධාරියා පැවසුවා.

අධිකරණයට අපහාස කළ බවට වරදකරු කෙරුණු පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නියම කර ඇත්තේ වසර 6ක සිර දඬුවමක්.

එහෙත් සිරදඬුවම සඳහා බන්ධනාගාර ගත කෙරුණු උන්වහන්සේ දඬුවම් කාලය අවසන් වීමට පෙර ජනාධිපති සමාව යටතේ මුදාහැරුණා.

ඒ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයාව සිටියදීයි.

කෙසේ වෙතත් පසුව පූජ්‍ය ගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබා දුන් මෙම ජනාධිපති සමාව අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ගොනු කෙරුණා.

පෙත්සම සලකා බලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත්දා තීරණය කළේ උන්වහන්සේට ලබා දුන් ජනාධිපති සමාව අවලංගු කිරීමටයි.

ඒ අනුව මුලින් නියම කළ සිර දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා පොලිසිය අධිකරණයෙන් නියෝග ඉල්ලා සිටියා.

එහෙත් මෙම නීති කෘත්‍ය අවස්ථාවේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ.

ඒ අනුවයි උන්වහන්සේ අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කෙරුණේ.

අධිකරණය විසින් නිකුත් කරන ලද විවෘත වරෙන්තුවට යටත්ව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඉකුත් සෙනසුරාදා අත්අඩංගුවට ගැනුණා.

ඒ කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කළුතර තීනියාවල ප්‍රදේශයේදීයි.

පසුව උන්වහන්සේ ඉකුත් ඉරිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අතර ඊයේ දිනය දක්වා උන්වහන්සේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට එහිදී නියෝග කෙරුණා.

ඊයේ උදෑසන දක්වා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් රඳවා සිටියේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේයි.

ඊයේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඥානසාර හිමියන්ගේ දඩුවම් කාලය ක්‍රියාත්මක කරන්නැයි අධිකරණය නියෝග කළා.

ඒ අනුව ඊයේ පස්වරු 2.30ට පමණ උන්වහන්සේ වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ආ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

එහිදි පළමුව සිදුකර ඇත්තේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිරකරුවෙකු ලෙස ලියාපදිංචි කිරීමයි.

ඉන් අනතුරුව වැලිකඩ බන්ධනාගාරයෙන් ජම්පර කට්ටල දෙකක් උන්වහන්සේ වෙත නිකුත් කර තිබෙනවා.

ඉන් එකක් ඇද බෙලෙක් පිගානක්, බෙලෙක් කෝප්පයක් සහ වැසිකිළි යාම සදහා බාස්කට් එකක් ලබා දී උන්වහන්සේ වැලිකඩ බන්ධනාගාරයේ අයි වාට්ටුවේ රැඳවු බවයි බන්ධනාගාර උසස් නිලධාරීයා වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර මෙලෙස බන්ධනාගාරගත කෙරුණු පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද දිනයේ මහාධිකරණය හමුවේ පවතින වරෙන්තුව සඳහා කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.