ඩෙංගු රෝගීන් වාර්තා වීම මේ වන විට අවම මට්ටමක පැවතුණ ද අවදානම පහව ගොස් නොමැති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

මේ හේතුවෙන් සිය පරිශ්‍රවල ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන පිළිබඳ තවදුරටත් අවධානය යොමු කරන ලෙසයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය පැවසුවේ.
"දැන් රෝගය අඩු වෙලා තියෙනවා. හැබැයි මේක අමතක කරලා හිටියොත් ආයි ඊළඟ මාස වෙනකොට වැඩිවීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා නිසි ආකාරයෙන් කුණු කසළ බැහැර කිරීම්, තමන්ගේ ගෙදර පිටිපස්සේ නිසි ආකාරයෙන් ඒ භාජන ගබඩා කිරීම්, පාසලක් ගත්තොත් ඒකෙ කොහොමද ඩෙංගු මර්දන කටයුතු කරන්නේ, රජයේ ආයතනයක් ගත්තොත් ඒකෙ කොහොමද ඩෙංගු මර්දන කටයුතු කරන්නේ, කොන්ස්ට්‍රක්ෂන් සයිට් (Construction site) එකක කොහොමද... ඒ දේවල් කරේ නැති වුණොත් නැවත ඉදිරියේදී ඇතිවෙන ඊසානදිග මෝසම් වර්ෂාව සමග වැඩිවීමේ අවදානමක් තියෙනවා. සමහර දිස්ත්‍රික්කවල අපි මුලින්ම දකින්නේ අර මදුරුවා වැඩිවීම තමයි. ඊළඟට තමයි රෝගීන් වැඩිවීම දකින්නේ. ඉතින් මදුරුවා වැඩිවීම දකින දිස්ත්‍රික්ක කීපයක් තියෙනවා. ඒවා ගැන වැඩි අවධානයක් යොමු කරලා මහජනතාව මේ සඳහා නැවතත් මතක් කරලා, පරිශ්‍ර කළමනාකරණය කිරීම ගැන දැනුවත් කිරීම සඳහා උත්සාහයක් ගන්න කියන එක තමයි ඉල්ලා සිටින්නේ."

මෙම වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වි ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 96,040 ක් වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවා.

එම කාලය තුළ ඩෙංගු මරණ 72 ක් ද වාර්තා වූ බවයි එම ඒකකය වැඩිදුරටත් පැවසුවේ.