දෙහිවල - මහරගම මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.
පොලීසිය පැවසුවේ දෙහිවල හන්දිය දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් පදික කාන්තාවකගේ ගැටී එම අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් බරපතල තුවාල ලැබූ කාන්තාව කළුබෝවිල රෝහලට ඇතුලත් කරන විටත් ජීවිතක්‍ෂයට පත්ව සිට තිබෙනවා.
එලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 82 ක් වූ දෙහිවල ප්‍රදේශයේ පදිංචිකාරිණියක්.
සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිරෝද රථ රියදුරා අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලීසිය පැවසුවා.
මේ අතර වැලිවේරිය, ඉඳිගහමුල මාර්ගයේ වෑබඩ පුළුන්ගස්හන්දිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන තවත් අනතුරක් සිදුව තිබෙනවා.
එහිදී එම යතුරු පැදිය විදුලි රැහැන් කණුවක ගැටීමෙන් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු හා පසුපැදිකරු රාගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු පැදිකරු ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි වැලිවේරිය පොලීසිය පැවසුවේ.
අනතුරෙන් ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 29 ක් වූ නාඋල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මඩකලපුව ත්‍රිකුණාමලය මාර්ගයේදීද යතුරු පැදියක් ගසක ගැටී පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. එලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 30ක් වූ කදිරවේලි ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාකරේ පොලීසිය පැවසුවේ.
මේ අතර ත්‍රිකුණාමලය හබරණ මාර්ගයේ කිතුල්උතුව ප්‍රදේශයේ සිදුවූ තවත් අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.
හබරණ පොලීසිය පැවසුවේ ත්‍රිකුණාමලය දෙසට ධාවනය වූ යතුරු පැදියක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි මෝටර් රථයක ගැටී එම අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු කන්තලේ රෝහලට ඇතුලත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.
එලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 27ක් වූ රජඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
අනතුරෙන් තුවාල ලැබූ මෝටර් රථයේ රියදුරා කන්තලේ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලීසිය පැවසුවේ.




