දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් සිව් දෙනෙකු මිය ගොස් තිබෙනවා.

ලුණුගල පොලිස් වසමේ බදුල්ල - මඩකලපුව මාර්ගයේ හොප්ටන් ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් 67 හැවිරිදි ලුණුගල ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක් මියගොස් ඇති බවයි ලුණුගල පොලීසිය පැවසුවේ.

පස්සර දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් රියැදුරුට පාලනය කර ගැනීමට නොහැකිව පෙරලී ගොස් අනතුර සිදුව තිබෙනවා.

එම අනතුරින් ත්‍රිරෝද රථයේ රියදුරා තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පොලීසිය සදහන් කළේ.

වව්නියාව පොලිස් වසමේ තාන්ඩිකුලම් ප්‍රදේශයේදී වව්නියාව දෙස සිට යාපනය දෙසට ධාවනය වූ දුම්රිය එන්ජිමක් තිරුවනාවක්කුලම් දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රිරෝද රථයක ගැටී තවත් අනතුරක් සිදුව තිබෙනවා.

එම අනතුරින් ත්‍රිරෝද රථයේ රියැදුරු හා එහි පිටුපස ගමන් කල කාන්තාවක් තුවාල ලබා වව්නියාව රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එම කාන්තාව මියගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.

එලෙස මියගොස් ඇත්තේ 74 හැවිරිදි ඊච්චන්කුලම් ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක්.

චාවකච්චේරිය පොලිස් වසමේ ඒ-09 මාර්ගයේ නොනාවිල් හන්දිය ආසන්නයේදී යාපනය දෙස සිට චාවකච්චේරිය දෙසට ධාවනය වූ ලොරි රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී තවත් අනතුරක් සිදුව තිබෙනවා.

එම අනතුරින් යතුරු පැදිකරු තුවාල ලබා චාවකච්චේරිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි චාවකච්චේරිය පොලීසිය පැවසුවේ.

කෑගල්ල පොලිස් වසමේ කොළඹ - මහනුවර මාර්ගයේ අඹන්පිටිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් 58 හැවිරිදි කාන්තාවක් මියගොස් තිබෙනවා.

මහනුවර දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ ලොරි රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි වෑන් රථයක ගැටී අනතුරක් සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.

එම අනතුරින් වෑන් රථෙය් ගමන්ගත් තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවද පොලීසිය පැවසුවා.