ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් අද සිට ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි මිල ගණන් ඉහළ දමා තිබෙනවා.

ඒ, අනුව තිරිගු පිටි කිලෝවක මිල ගණන් අවම වශයෙන් රුපියල් 17කින් ඉහළ දමා ඇති බවයි වාර්තා වුණේ.

කෙසේවෙතත් මේ වනවිට තමන් සතු තිරිගු පිටි තොග පැරණි මිල ගණන් යටතේ පාරිභෝගිකයන් වෙත අළෙවි කරන බව වතුකරයේ වෙළදුන් පැවසුවා.

මේ අතර තිරිගු පිටි මිල ඉහළ යාම හමුවේ අද මධ්‍යම රාත්‍රියේ සිට පරාටා, එළවළු රොටී, බිත්තර රෝල් ඇතුළු කෙටි ආහාරවල මිල ගණන් මෙන්ම ඉදි ආප්ප, ආප්ප සහ බිත්තර ආප්ප මිල ගණන්ද ඉහළ දැමීමට සමස්ත ලංකා ආපන ශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. මේ, ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා.

හර්ෂණ රුක්ෂාන් මහතා : "තිරිඟු පිටි මිල, මීට සති දෙකකට කලිනුත් අපිට දැනගන්න ලැබුණා එක්තරා ආයතනයක් රුපියල් 10 කින් වැඩි කරා. දැන් සියලුම ආයතන එකතු වෙලා නැවත රුපියල් 14 ක මිලකින් ඉහළ දාලා තියෙනවා. ඒ කියන්නේ කසකාරයා දවස් සති දෙකකට කලින් කසේ හැඬලුවා, ඊට පස්සේ බෙරවාය පෙරහැර දැන් එන්නේ. ඔය දේට ප්‍රතිචාරයක් දැක්වීම විදියට, මොකද අපි අන්තිම මාස දෙකක් තුනක් ඇතුළත කිසිම ආකාරයකින් අපි ආහාර මිල ඉහළ දැමීමක් සිදු කළේ නෑ. මොකද මස්, මාළු, කිරි, බිත්තර, පලතුරු, එළවළු සියලුම මිලවල්, හාවා, කිරි සම්බන්ද වෙන සියලුම අයිතමවල අමුද්‍රව්‍ය මිල ඉහළ ගිහිල්ලා තිබ්බත් අපි කිසිම ආකාරයකින් ආහාර මිල ඉහළ දැමීමකට ගියේ නෑ, උදෙසැකියා රජයට සහාය දැක්වීම සහ අසරණ පාරිභෝගික ජනතාව පැත්ත හිතලා. නමුත් දැන් මේක මේ වෙළෙඳ ඒකාධිකාරය විසින් නැවතත් මේ මාෆියාව පටන් අරන් තියෙනවා කියලා හැඟෙනවා. මේ දේට එරෙහිව අපි කටයුතු කරනවා. ඒක හින්දා අපි මේ වැඩි වෙච්ච තිරිඟු පිටි මිලට සාපේක්ෂව කෙටි ආහාර වර්ගවල මිල රුපියල් 5 කින් - රෝල්ස්, ෂෝටීස්, පරාටා, බිත්තර රොටි වැනි ආහාර අයිතමවල මිල රුපියල් 5 ක් වන මිලකින්ද, ඉඳියාප්පයක මිල රුපියලකිනුත්, ආප්ප, බිත්තර ආප්පවල මිල රුපියල් 2 ක් වැනි ඉතා සුළු මුදලකින් අපි වැඩි කරනවා. මොකද අපිටත් මේ කසේ ගහනවා දැන්. හේතුව තමයි මේ ආයතනවලට ඕන විදියට නටන්න දෙන්න ඕන නම් රටේ වෙළෙඳ අමාත්‍යාංශයක් තියලා වැඩක් නෑනේ. ඉතින් ඒක හින්දා අපි දැක්කා කිරිපිටි එක්තරා ආයතනයක් පවුම් එකකට රුපියල් 100 කින් මිල වැඩි කරලා, අපි මාධ්‍යයට කිව්වා. නමුත් බීරි අලින්ට වීණා ගහනවා වගේනේ මේක. ඒක හින්දා අපි කියා සිටිනවා, මේ ආයතන කසේ ගහනවා නම් අපි ආපනශාලා හිමියන් විදියට, කේටරින් කරන කට්ටිය විදියට අපිත් කසේ ගහනවා දැන්. ඒක හින්දා අපි කෙටි ආහාර වර්ගවල මිල ඉහළ දැමීමට, සියලුම දේක මිල රුපියල් 5 කිනුත්, ඉඳියාප්ප රුපියලකිනුත්, ආප්ප, බිත්තර ආප්ප රුපියල් 2 ක් වැනි මිලකිනුත් ඉහළ දාන්න අපි කටයුතු කරනවා අද මධ්‍යම රාත්‍රී 12 න් පසුව."

නිශාන් ද සිල්වා : "ඔබතුමාලා කසේ ගහනවා කියලා කිව්වට කසේ වැදිලා තියෙන්නේ පාරිභෝගිකයන්ටනේ?"

හර්ෂණ රුක්ෂාන් මහතා :"අනිවාර්යයෙන්. මොකද මේක පාරිභෝගිකයාගෙන් හඬක් නැගෙන්න ඕනේ. මොකද ආයතන විසින් මිල ඉහළ දාන්න දාන්න අපි නිහඬව හිටපු හින්දානේ පාරිභෝගිකයාටත් මේක දැනුනේ නැත්තේ. මොකද පාරිභෝගිකයා ඇවිල්ලා අපෙන් තමයි පරාට එක, බිත්තර රොටිය, ෂෝටීස් එක, රයිස් එක, කොත්තුව, බත් පැකට් එක අරන් යන්නේ. නමුත් අපි මිල ඉහළ දැම්මේ නෑ කිසිම මොහොතක. අපි ඒ ඉහළ දැම්මේ නැති හින්දා තමයි පාරිභෝගිකයාට ලොකු බරපැනක් ගියේ නැත්තේ..."