තෙල්දෙණිය ප්‍රදේශයේ රථගාලක නවතා තිබූ මෝටර් රථයකින් හමුවූ කාන්තා මළ සිරුර සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු පෙර සිටම පොලිසියට අවශ්‍ය කර සිටි තැනැත්තකු බව අනාවරණ වී තිබෙනවා.
කාන්තාවන් රවටා මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා තිබුණු බවයි පැවසෙන්නේ.
මෙම සැකකරු ගන්නෝරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර වෘත්තියෙන් මෘදුකාංග ඉංජිනේරුවකු බව මූලික විමර්ශනවලදී හඳුනා ගැනුනා. කෙසේ වෙතත් මේ වන විට ඔහු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා කණ්ඩායම් කිහිපයක් විමර්ශන සිදු කරන බවයි පොලිසිය පවසන්නේ.
එසේ තිබියදී කාන්තාවගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් පොලිසිය අද නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කළා.
ඉදිරිපත් වූ කරුණු සලකා බලා අධිකරණය විසින් සැකකාර මෘදුකාංග ඉංජිනේරු ශිල්පියාට රටින් බැහැරවීම වළක්වාලන නියෝගයක් නිකුත් කළ බවයි එම අවස්ථාව ආවරණය කළ නෙත් නිවුස් වාර්තාකරු රංජිත් රාජපක්ෂ පැවසුවේ.
සිදු කෙරෙන විමර්ශනවලදී මියගිය කාන්තාව අවසන් වරට නතර වී සිටි බව කියන නුවරඑළිය සංචාරක හෝටලයේ සීසී ටීවී කැමරා දර්ශනද පරීක්ෂා කෙරෙනවා. මෙම සියලු දර්ශන පොලිසිය භාරයට ගෙන ඇති බවයි නුවර එළිය කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමරකෝන් බණ්ඩාර මහතා පැවසුවේ.
මේ අතර මියගිය කාන්තාවගේ පශ්චාත් අධිකරණ වෛද්‍ය පරීක්‍ෂණය තෙල්දෙණිය දිසාරෝහලේ දී සිදු කෙරුණා .
ඒ විශේෂඥ අධිකරණ වෛද්‍ය උපුලි බණ්ඩාර මහත්මිය විසින්.
එහිදී මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දුන් අතර සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යවන ලෙසද දන්වා සිටියා.
මෙම පශ්චාත් අධිකරණ වෛද්‍ය පරීක්ෂණයෙන් පසු මියගිය කාන්තාවගේ දේහය පොලිසිය විසින් ඥාතීන්ට භාර දුන් බවයි එම අවස්ථාව ආවරණය කළ නෙත් නිවුස් වාර්තාකරු කියා සිටියේ.
ප්‍රධාන සැකකරු, මියගිය කාන්තාව සමග මාස අටක් පමණ තිස්සේ ප්‍රේම සම්බන්ධයක් පවත්වා ඇති බව ද මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.
විදේශගත වීමේ බලාපොරොත්තුවෙන් කාන්තාව රුපියල් කෝටි එක හමාරක පමණ මුදලක් බැංකුවකින් සහ තවත් කිහිපදෙනෙකුගෙන් ණය ලෙස ලබාගෙන සැකකරු වෙත ලබා දී ඇති බවයි වැඩිදුරටත් අනාවරණ වි ඇත්තේ.
එහෙත් අපේක්ෂා කළ පරිදි විදේශගත වීමක් සිදුව නොමැති අතර ණය හිමියන් ලබාදුන් අය ඉක්මනින් ආපසු ගෙවන ලෙස කාන්තාවට නැවත නැවත දැනුම් දී තිබෙනවා.
මේ නිසා ඇය මානසික පීඩනයකින් පසු වූ බවයි මූලික විමර්ශනයේදී වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ.
මෙලෙස මියගිය කාන්තාව තිස් හතරවන වියේ පසුව වූ තැනැත්තියක්. වෘත්තියෙන් භෞත චිකිත්සකවරියක වූ ඇය අම්පාර රෝහලේ සේවයේදී සිටියා.
මෙම කාන්තාව නුවරඑළිය ප්‍රදේශයේ මහල් නිවාසයකට පැමිණ ඇත්තේ ඉකුත් තුන්වන දායි. තමන් මානසික පීඩනයකින් පෙලෙන බව ඇය දුරකථන ඇමතුමක් දී අම්පාර රෝහලේ තවත් වෛද්‍යවරයෙකුට ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව එම වෛද්‍යවරයා වහාම වෛද්‍යවරයෙකු වෙත ගොස් උපදෙස් ලබාගන්නා ලෙස ඇයට පවසා ඇති බවයි කියවෙන්නේ.
ඇය ඇගේ සහෝදරයාටද ඇමතුමක් දී ඇති අතර දින තුනකින් ආහාර නොගත් බවද ඇය පවසා තිබෙනවා.
මෙලෙස ලැබුණු දුරකථන ඇමතුමට අනුවයි මියගිය කාන්තාවගේ සහෝදරයා නුවරඑළිය පොලිස් ස්ථානය වෙත පැමිණ පැමිණිල්ලක්කර කාන්තාව නතර වී සිටින මහල් නිවාසය පරීක්ෂා කිරීමට සහාය වන ලෙස පොලිසියෙන් ඉල්ලා ඇත්තේ.
ඒ අනුව නිලධාරීන් විසින් මහල් නිවාසය පරීක්ෂා කළ නමුත් ඒ වන විට එහි කිසිවෙකු සිටියේ නැහැ.
පසුව සීසීටීවී දර්ශන පරීක්ෂාවේදී හඳුනාගැනුණේ ප්‍රධාන සැකකරු විසින් කාන්තාව ඔසවාගෙන ඉකුත් දහසය වනදා රාත්‍රී ගොඩනැගිල්ලෙන් පිටව ගොස් ඇති බවයි. එසේ තිබියදී ඉකුත් දාහත් වන දා තෙල්දෙණිය පොලිසියට දුරකථනයෙන් කතා කළ පුද්ගලයෙකු රථ ගාලක මෝටර් රථයක කාන්තා මළ සිරුරක් තිබෙන බව පවසා තිබෙනවා. ඒ අනුව ගොස් කළ සොයා බැලීමේදී කාන්තාවගේ මළ සිරුර සොයාගන්න අතර එලෙස මියගොස් සිටියේ නුවරඑළිය මහල් නිවාසයෙන් අතුරුදන් වූ කාන්තාවම බවයි පසුව තහවුරු කර ගැනුනේ.




