මෙවර LPL තරගාවලියේ පිටපිටම සිය දෙවන ජයග්‍රහණයත් හිමිකර ගැනීමට දසුන් ශානක නායකත්වය දරන Galle Gallantas (ගොල් ගැලන්ටස්) කණ්ඩායම ඊයේ රාත්‍රී සමත් වුණා.

ඒ, කුසල් මෙන්ඩිස් නායකත්වය දරන Colombo Kaps (කොලොම්බෝ කැපස්) කණ්ඩායම කඩුලු පහකින් පරාජය කරමින්.

පළමුවෙන් පන්දුවට පහර දුන් Colombo Kaps කණ්ඩායම නියමිත පන්දුවාර 20 දී කඩුලු 8ක් දැවී ලකුණු 189ක් ලබාගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Galle Gallantas කණ්ඩායම තරඟය ජය ගත්තේ පන්දුවාර 19යි පන්දු 2ක් පමණක් වැය කරමින් කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 191ක් ලබාගනිමින්.

තරඟයේ වැඩිම ලකුණු ලාභියා වූයේ Colombo Kaps කණ්ඩායමේ කුසල් මෙන්ඩිස්.

ආරම්භක පිතිකරුවෙකු ලෙස පිටියට පිවිස නායකත්වය ඉනිමක් ක්‍රීඩා කළ ඔහු පන්දු 53දී ලකුණු 79ක් ලබා ගත්තා.

ඒ හයේ පහර 7ක් සහ හතරේ පහර 2ක්ද සමඟයි.

මීට අමතරව Colombo Kaps කණ්ඩායම වෙනුවෙන් බෙන් මැක්ඩර්මන්ත් පන්දු 34දී ලකුණු 57ක් ලබාගත්තා.

 

Galle Gallantas කණ්ඩායම වෙනුවෙන් සෑම් හාපර් පන්දු 45දී ලකුණු 65ක් ලබා ගත්තා.

සහන් ආරච්චගේ පන්දු 17දී ලකුණු 38යි.

මෙම තරගයේ විශිෂ්ඨතම පන්දු යැවීම වාර්තා කළේ Galle Gallantas කණ්ඩායම වෙනුවෙන් අකිෆ් ජාවෙඩ්.

ඔහු ලකුණු 40ට කඩුලු 4ක් දවා ගත්තා.

මේ අතර LPL තරඟාවලියේ ඊයේ පැවති තවත් තරඟයකදී ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරන Kandy Royals කණ්ඩායම පරාජය කරමින් ලකුණු 18ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් Dambulla Sixers කණ්ඩායම සමත් වුණා.

තරඟය පැවැත්වුණේ කොළඹ SSC ක්‍රීඩාංගනයේදී.

පළමුවෙන් පන්දුවට පහර දුන් Dambulla Sixers කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 205ක් රැස්කර ගත්තා.

එහෙත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Kandy Royals කණ්ඩායමට නියමිත පන්දුවාර 20දී කඩුලු හයක් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 187ක් පමණයි.

Dambulla Sixers කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක යෙදුණු රීසා හෙන්රික්ස් පන්දු 50දී නොදැවී ලකුණු 87ක් ලබා ගත්තා.

ගුල්බදීන් නයිබ් පන්දු 23කදී නොදැවී ලකුණු 46 යි.

Kandy Royals වෙනුවෙන් ඩේල් පිලිප්ස් පන්දු 39දී ලකුණු 52ක් සහ ලහිරු උදාන පන්දු 28දී ලකුණු 44ක් ලබා ගත්තා.

එහෙත්, කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා එය ප්‍රමාණවත් වූයේ නැහැ.

පන්දු යැවීමේදී ජයග්‍රාහී Dambulla Sixers කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් වසීම් සහ පිත්තෙන් දක්ෂතා දැක්වූ ගුලාබ්දීන් නයිබ් කඩුලු දෙක බැගින් දවා ගත්තා.